අද භාවනාවෙදි මට කිව්වෙ, මම ලෝභය නැති කරමි කියලා කියනකොට මේ “එතනින් පටන් ගන්න” කියලා කිව්වා. එතකොට ලෝභය නැති කරමියි කිව්වහම දැන් අපි දන්නවා, මේ ලෝභය කියන එක තියෙනවා නම් අදත්තාදානය කියන එක සිද්ධ වෙනවා. අදත්තාදානයෙන් ලෝභය ඇති වෙනවා කියන එක අපි දන්නවා. එතකොට දැන් මම කල්පනා කරනවා අදත්තාදානය, පවතිනවා කියලා කිව්වහම, අදත්තාදානය, අර මතක ද අපි ඒක ආනෙඤ්ජ සප්පාය සූත්‍රය අවසානයට පෙන්නුවේ මේ අදත්තාදානය, ලෝභය, අදත්තාදානය උඩ එක, පල්ලෙහායින් කියනවා මෝහය, මේ විදිහට ජීවත් වෙනවා කියන එක.
එතනදි එනවා දැන් ලෝභය නිසා අපිට ඇති වෙන්නෙ, මිච්ඡා ආජීවය තමයි එන්නෙ. දැන් මම හොරකම් කරගෙන මම ජීවත් වෙනවා. ඒ කියන්නෙ මිච්ඡා ආජීවය. එතකොට දැන් මේ දෙක අතර සම්බන්ධතාවය තියෙනවා. අදත්තාදානය කරනවා, ලෝභය ඇති වෙනවා, මිච්ඡා ආජීවය, මානය. එතකොට මිච්ඡා ආජීවයෙන් යුතුව, මානයෙන් යුතුව, ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නෙ රස්සාවක් කරගෙන ජීවත් වෙනවා කියන අර්ථය ඔතන තියෙනවා නේ.
දැන් මේක බලනකොට මට රහතන් වහන්සේ පෙන්නුවා, මේ මෙහෙම උඩින් සම්බන්ධතාවය මෙතන එනවා කියන එක. ඒ සම්බන්ධතාවය මම හොඳට විමසලා බලනකොට, දැන් මට එනවා මෙහෙම ජීවත් වෙන්නේ ය කියන එක කවුරු හරි ඉස්සෙල්ලා තීරණයක් ගන්නට ඕනි. ඒ කියන්නෙ මම අදත්තාදානය කරගෙන ජීවත් වෙනවා කියන එක මම තීරණයක් ගන්න ඕනි. ඒ තීරණය ගන්න නම් අපි අර අධිෂ්ඨාන, අභිනිවේස කියන කතාව මට මතක් වෙනවා. අධිෂ්ඨානයෙ තියෙනවා ගෘහපතියෙක් නම් මේ ශිල්පය අධිෂ්ඨාන කරනවයි, ඊළඟට මේ රැකියාවක්, ඕක තමයි එයාගෙ අභිනිවේසය හැටියට තියෙන්නෙ කියන එක.
මේකෙ සම්බන්ධතාවයත් එක්ක මට ටිකක් කල්පනා කරනකොට එහෙම නම් මට පේනවා, මේ කලින් තීරණයක් මෙයා අරගෙන තියෙන්න ඕනි. කලින් තීරණයක් අරගෙන තියෙනවා කියලා කියන්නේ, ඒ කියන්නෙ මෝහය විසින් මේකෙ තීරණයක් අරගෙන ම තියෙන්නට ඕනේ මෙහෙම ඉන්නවා කියන එක. දැන් එතකොට මේ අවස්ථාවෙදි මට පේනවා එහෙම නම් මේක තමයි මිච්ඡා දිට්ඨිය. නිර්වාණයෙන් තොර වූ දෙයක් ම මගේ කියලා ගත්ත පෙර තීරණයක් තියෙනවා.
එතකොට දැන් මේ විදිහට මේ දැන් මට පේනවා එහෙම නම් මිච්ඡා දිට්ඨියෙන් මේක සිද්ධ වෙලා, දැන් අර මිච්ඡා කම්මන්තය, මිච්ඡා ආජීවයට අපි ආවා. මිච්ඡා කම්මන්තය, මිච්ඡා ආජීවය. මිච්ඡා කම්මන්තයෙන් තමයි මිච්ඡා ආජීවය ඇති වෙන්නේ කියන එක ඒ පුරුක වැටහෙනවා. එතකොට මේ විදිහට වෙනවා කියන එක මිච්ඡා දිට්ඨිය පවතිනවා. මිච්ඡා දිට්ඨියේ තීරණය ගැනීම නිසා, ඒ කියන්නෙ මේ අර සම්මා දිට්ඨියේ එහා කෙළවරට ම බලලායි මේ කතාව මේ කියන්නෙ.
ඒ කියන්නෙ මම මේ ලෝකයේ තිබෙන්නා වූ ධර්මයන්ගෙන් ගත්තහම, නිර්වාණය, සම්මා දිට්ඨියේ තියෙන්නේ, ඉහළ ම වූ සම්මා දිට්ඨියේ නිර්වාණය විතරයි, දුක්ඛ නිරෝධය විතරයි. අනිත් ඒවා ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඒක කලින් තේරෙන්න ඕනේ. ඔන්න ඔය අර්ථය ඇතුව තමයි මෙතන මේ කල්පනා කළේ මේ මිච්ඡා දිට්ඨිය මේක තියෙනවා කියලා.
මෙහෙම ගත්තහම ඔන්න මට පේන්න ගන්නවා මේ කඳු, මේවා පල්ලම්, මේ විදිහට පේන්න ගන්නවා. ඉතින් පේන්න ගන්නවා, මේක කැරකෙනවා කියලත් තේරෙනවා. මෙහෙම පේනවා, පේනවා විතරක් නෙවේ මේක මේ වටේට මෙහෙම යනවා. ඔහොම යනකොට ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ ඔක්කෝම තුනී වේගෙන තුනී වේගෙන යනවා. ඒ කියන්නෙ සිතන එකත් තුනී වේගෙන නතර වේගෙන නතර වේගෙන ඔය විදිහට යනවා. ගිහිල්ලා ගිහිල්ලා දැන් යනවා ඒක නවත්තන්න බැරි විදිහට මේක cessation එකට ම යනවා. ගිහිල්ලා මෙහෙම ඒ තත්වෙට බොහොම තදින් ඒක ගිහිල්ලා දැන් මම දන්නවා මේක නතර වෙන්නයි යන්නේ. මට මේක stop කරන්නත් බැහැ. ඒක නවත්වන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ. ඒ නිරෝධයට යනවා කියන එක ඒ විදිහට සිද්ධ වේගෙන යනවා.
ඊට පස්සේ දැන් මට හැබැයි මේක කියන්නත් එපායැ. දැන් මට ඕක ආපහු දැන් මට ඕනකම තියෙනවා, දැන් මගේ සටනක් තියෙනවා, අරක යන එක නවත්වලා මේක ආපහු ඔළුවට ගන්න මෙනෙහි කරන්න. ඒ වුණාට ඒ උත්සාහය අමාරුයි. මොකද ඒකට අගයක් දෙන්නෙ නෑ. ඒකට අගයක් දෙන්නෙ නෑ මේක නවත්වලා මේක කියන්න, මේ ධර්මය කියන්නෙ ධම්මමච්ඡරියෙ කතාවත් එතනදි නෑ. ඒක බැහැගෙන ගිහිල්ලා.
මම හැබැයි ඔහොම මිනිත්තු කීපයක් ඉඳලා, ඊට පස්සේ ආපහු මේ, රහතන් වහන්සේගෙන් අවසරය ඇතුව මම ආපහු බලන්නම් කියන එක මේවා කළා. හෙමින් එන්නෙ, හරි ම හෙමින්, ඒ කියන්නෙ හිතුවට, ඒ කියන්නෙ බබෙකුට නැගිට ගන්නවා වගේ මේක හරි ම අමාරුයි මේකෙන් අනිත් පැත්තට එන්න. හෙමින් සීරුවේ. ඉතින් හෙමින් සීරුවේ, පොඩ්ඩ පොඩ්ඩ, පොඩ්ඩ පොඩ්ඩ ඔහොම ඇවිල්ලා යන්තම් ඔන්න ආපහු ඔය කතාව මම සිහි කළා. සිහි කරලා ඉතින් ඕක වෙලා ආපහු අර විදිහට ටිකක් වෙලා ඉඳලා, ඊට පස්සේ ඉතින් රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වහම මම ඒක නැවැත්තුවා.
ඉතින් රහතන් වහන්සේ කිව්වා, “ඒ ඔබ මේ ලෝකය දැක්කේ මේ පෘථිවිය නෙවෙයි,” ඒ කියන්නෙ මේ පෘථිවියේ ඉඳන් මෙහෙම ඔක්කොම අර කැරකෙනවා කියලා මම දැක්කේ. ඒ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙන් ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකෙටත් ගිහිල්ලා, ඒ බ්‍රහ්ම ලෝකෙ ඔක්කොම ඒකෙ ඒ නිරෝධයට එතෙන්ට ගියා, තුනී වෙවී තුනී වෙවී මේ ඔක්කොම travelling එක මේ මිච්ඡා දිට්ඨිය කියන එක හොඳට තේරෙනවා නම් ඒ පුද්ගලයාට ඒක වැටහෙනවා, පේනවා. මෙච්චර කාලයක් අල්ලගෙන හිටියෙ මේකයි කියන එක නේ ඔය එන්නෙ. අදත්තාදානය ලෝභය නිසා ඇති වුණා වූ මෙතන තියෙනවා මිච්ඡා කම්මන්තය මිච්ඡා ආජීවය වෙලා, මිච්ඡා ආජීවයෙන් ඉන්නවා කියන එක අනිත් පැත්තට දිගට ම analyse කරගෙන ගිහිල්ලා බැලුවොතින්, අපි හුඟාක් ම සම්මා දිට්ඨියේ කතාව ම නේ බලන්නෙ. මිච්ඡා දිට්ඨියේ කතාව හොඳට කෙනෙක් බලනවා නම්, ඒක උඩ, ඒවා පේන ඒවා ඔක්කොම සිද්ධ වෙනවා කැරකිලා. ඒක තමයි ඒ භාවනාව.