Date: 05/01/2014 Name: Upekka bhavana 7

එතකොට උත්තරීතර මණ්ඩලය අනුපිළිවෙළින් සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියා ප්‍රඥාවෙන් යුක්තව ලොව දෙස බලන කරුණාව ඇති බුදුපියා වශයෙන්, ශ්‍රේෂ්ඨත්වයෙන් පළමු වන බුදු පියායි කියලා. මේ විදිහට ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.

එතකොට මේ කරේ, අර තුන් වෙනිදා කරපු භාවනාව ආපහු කරපු එකයි කළේ මුලින් ම. ඒ කියන්නෙ තුන් වෙනිදා භාවනාවෙදි අපි බැලුවා නේ, පන්සිල් ගැනීම කියන එක කොයි ආකාර ද කියන එක. ඒ කියන්නෙ බොජ්ඣඞ්ග භාවනාව, එකොළොස් වෙනි බොජ්ඣඞ්ග භාවනාව තමයි එතෙන්දි ඒක කළේ.

එතකොට අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් භය අගතියට ගිහිල්ලා තමයි අර මේ, පරාමාසයෙන් පහළට වීම කියන එක සිද්ධ වෙනවා කියන එක වෙන්නෙ. එතකොට, ඒ භාවනාව නැවතත් කල්පනා කරලා, ඒ කියන්නෙ දිට්ඨි අනුසයේ කතාව නේ එතන තිබුණේ, දිට්ඨි අනුසයයි ධම්මමච්ඡරියයි පහ කළා නම් ඉතිරිව ඇත්තේ මොකද්ද කියන එක මම කල්පනා කළා. දිට්ඨි අනුසයයි ධම්මමච්ඡරියයි පහ කළාට පස්සේ මට පේනවා, මේ කෑලි දෙකක් පේනවා අර C සහ D කියන කොටස් දෙකක් දීලා තියෙනවා මේකෙ, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, විඤ්ඤාණ ආහාරය, කියන ඒ උඩ triangle එක, D කියලා කියන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, භය අගතිය, මෝහ අගතිය කියන triangle එක.

එතකොට දැන් අර මේක push එක තිබුණේ. භය අගතියට ඇවිල්ලා භය අගතියෙන් වේදනාව හරහා චේතනාවට යන එක නේ. දැන් මෙතන මේ කෑලි දෙක, මේ පැත්ත, වම් අත පැත්ත කැපුවා නම් චේතනාවේ ඉඳන් එහා පැත්තට තියෙන දෙක තියෙනවා කියන එක ආවා. එතකොට මෙතෙන්දි මට එනවා එහෙනම් මේක අවිද්‍යා අනුසය සහ මාන අනුසයයි කියලා. ඔය C කියන කොටස, චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යනවායි කියන එක ඒ අවිද්‍යා අනුසයට අදාළ වෙන කොටසක්. අවිද්‍යා අනුසය නිසා අර උඩින් එනවා නේ අවිද්‍යා ආශ්‍රවයට. අන්න ඒ පැත්තේ කොටසක් තමයි මේක තියෙන්නේ. D කොටසට අයිති වෙන්නේ මාන අනුසය කියන එක.

එතකොට ඒ කියන්නේ ආකාසානඤ්චායතන වැනි අරූප ධ්‍යානවලට ඇති ඇල්ම පහ නොකිරීම, කියන එක. මාන අනුසය කියන්නේ, එයා කියනවා එහෙම පැවැත්ම, එහෙම පවතින එක හොඳයි කියන අදහස, එයා ඒක පහ කරන්නේ නෑ. මාන අනුසය කියන එක.

මේක හරියට මට ආවා මේ රුවලක් නැති නැවක් වගේයි කියලා. ඒ කියන්නේ පෙර රුවලක් තිබුණා කියලා එයා දන්නවා. දැන් අලුතෙන් රුවලක් තිබෙනවා නම් හොඳ යැයි කියලා මෙයා මේ වෙලාවෙ දී හිතන්නෙත් නෑ.

එතකොට එයා ඒකෙ හිටිනවා. “දිට්ඨීසුච න නීයති” කියන අර්ථය තමයි මෙතන තියෙන්නේ. දිට්ඨිය නිසා මෙයාව දුවවන්නේ නෑ කියන එකයි. ඉතින් මේ අවස්ථාවෙ දී කීප වරක් ඒ නිරෝධයට ගියා, ඒ රූප දුටුවා, ඉතින් ඒ විදිහට ඇහෙන් එලිය පිට වන බව ඒක මම දැක්කා, ඒ කියන්නේ මම පිටින් ඉඳන් බලනවා වගේ.

ඒක තමයි ඒ භාවනාව.