Date: 12/04/2014 Name: Neversannanaasannayatana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මම සිහි කළේ ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින්නා වූ ඒ පළමු වන, ශ්‍රේෂ්ඨ වන, ප්‍රඥාවන්ත, සතිය ඇති පුද්ගලයා ය කියන එක. එතකොට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ දෙවන ශ්‍රේෂ්ඨ වන, ප්‍රඥාවන්ත, සතියෙන් යුතු පුද්ගලයා ය කියලා. ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරමින් වැන්දා.

වැඳලා මං බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, ලෝභය නැති කරමී කියලා කියනකොට මම කල්පනා කළා ඒ ප්‍රඥාව ඇති වෙන්න ඒ ලෝභ කතාව තියෙනවා නේ, කබලිංකාර ආහාරය, ඒ ඡන්ද අගතිය, එතනින් චේතනාව එන්නා වූ දේ. එතකොට ඒක නිසා මෝහය ඇති වෙනවා. එතකොට ලෝභය නැති කිරීමෙන් මෙතන මේ එහා පැත්තේ මෝහය නැති වෙලා ප්‍රඥාව ඇති වෙනවා.

ඊළඟට මම කල්පනා කළා, මේ ද්වේෂය නැති කරමී කියන එක. ධම්මං සරණං ගච්ඡාමි කිව්වම ද්වේෂය නැති කරමි. ද්වේෂය නැති කරමි කිව්වම මං එතෙන්දි කල්පනා කළා කොහොම ද ආපහු ප්‍රඥාවට යන්නේ මෙතන කියන එක. ඉතින් ඒ පාර මං අර වට ටිකේ දිගට ගියා. වට කරකවගෙන ගිහිල්ලා බැලුවා ම ඉතින් 7.7 වෙනකොටනෙ ද්වේෂය වෙන්නේ. එතකොට එතන ඉතින් ඇති වෙන්නට ඕනෙ ප්‍රඥාව කියන එක ඇති වෙන්න. ඉතින් හැබැයි මේක 7.7 රවුම නොවෙන්න නම් ඉතින් හය රවුම නොවෙන්න ඕනෙ. ඔය විදිහට මම කල්පනා කරලා.

ඊට පස්සේ මෝහය නැති කරමී කියලා කිව්වහම, මං කල්පනා කළා ප්‍රඥාව වෙන්න නම්, ඉතින් එහෙනම් අර පළවෙනි පාරට ම අර සුභයි කියලා කියන එක ගන්නෙ නැති වෙන්න ඕනෙ. සුභයි කියන එක, පළවෙනි රවුමෙන් ම ඒක වෙන්න ඕනෙ. ඒ කියන්නේ කරකවන්නෙම නැති වෙන්න ඕනෙ.

එතකොට මං මේ විදිහට කල්පනා කළා එහෙම වෙන්න නම් එහෙනම් අර සුභයි කියලා ගන්නෙ නැති වෙන්නත් ඕනෙ, පෙර වූ සංස්කාරයන් නැති වෙන්නත් ඕනෙ. පෙර වූ සංස්කාරයන් නිසා මේක කරනවා කියන කතාව තියෙනවා, ඒ කියන්නේ මම කරකවන්නෙත් නෑ, කරකවලත් නෑ, කියන අර්ථයෙන් මම ඉන්න ඕනෙ කියන එක. එතකොට එහෙම නම් මං කල්පනා කළා, එහෙම නම්, ඒ කියන්නේ අසුභය කියන එක තමන්ට තියෙන්න ඕනෙ. දෙතිස් කුණපයයි කියන එක හොඳට කෙනෙකුට ඒ වාගේ තියෙන්න ඕනෙ. එතකොට අසුභ යැයි කියලා අරගෙන ඒකට අගය දෙන්නැති එක තියෙන්නත් ඕනෙ, අනිත් අතට ගත්තහම මේ සංස්කාරවලට දීලා තියෙන අගය නැති වෙන්නත් ඕනෙ.

එතකොට ඒ රූපයට අගයයි, සංස්කාර අගයයි දෙක ම නැති වීමෙන් තමයි, මේක සිද්ධ වෙන්නේ කියන එක කල්පනා කළා. ඉතින් එතෙන්දි මං ආපහු මැද්දේ කෑල්ලත් පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවා, අර චෙතෙති, පකප්පෙති, අනුසති නැත්තන් මෙතන මේක නිසා මේවා පිහිටනවා නේ, කියලා ඉතින් හැබැයි ඒක එන්නෙත් අර රූපයට අගය දීලා නේ මෙතන මේ චේතනාවන් කියන ඒවා ඇති වෙන්නේ, කියන එක එතන ආවා.

ඉතින් ඔතන ඒ රූපයට අගය දෙන්නෙත් නැතෙයි, සංස්කාරයට අගය දෙන්නෙත් නැතෙයි කිව්වහම රහතන් වහන්සේ “සාධු සාධු” කියනවා මට ඇහුණා. එහෙම කරලා ඊට පස්සේ, ඊට පස්සේ දැන් ඒ කියන්නේ රූප එහෙම මට පේනවා, මං එකකටවත් ඒකෙ අගයක් දෙන්නේ නෑ, ඒ විදිහට මනස බොහෝ ම, ඒ කියන්නේ නිරෝධය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඒ වගේ තත්වයේ ඉන්නවා කියන එක මට දැනුණා. ඒක තමයි මගේ භාවනාව.

අර රූපයට අගය දෙන්නෙත් නැතේ ය, සංස්කාරවලට අගය දෙන්නෙත් නැතේ ය, කියන කතාව ඒක මම ගියා නේ. ඒක ගිය වෙලාවේ මම කල්පනා කළා එතන, ඒ කියන්නේ කරකවන ගමන් බැලුවා නම් අගය දෙනවා. ඒක නේ පෙන්නුවේ පෝතලිය සූත්‍රයෙත් එක්ක. එතකොට ඒක නොවෙන්න ඕනෙ. ඒ කියන්නේ කරකවන්නේ නැති වෙන්නත් ඕනෙ, කරකවමින් ඉන්නවා කියන කතාව නොවෙන්නත් ඕනෙ.

එතකොට ඒක තමයි මේ තථාගතයන් වහන්සේ කිව්වේ අර මේ ධ්‍යානයට ගිහිල්ලා ඉන්න අවස්ථාවේ දී එයා පොළඹවන්න බැහැයි කියලා. එයා එතකොට අර, කරකවන්නේ නැතුව එයාගේ ඉන්න අවස්ථාව, ඒ කියන්නේ අගය දෙන්නේ නැතුව තමා මේක වෙලා තියෙන්නේ. ඒක අර විදිහට ඉඳීමෙන් අරයා අගයක් දෙන්නේ නෑ ඒ අවස්ථාවේ දී. ඔන්න ඔය අර්ථයට මට ආවා.