Date: 20/12/2014 Name: Vijja Vimutti

අද භාවනාවට කළේ, මම කලින් කරපු භාවනාවකින් මං පටන් ගත්තා, ඒ පූජාවෙන් පස්සේ. කලින් කරපු භාවනාව තමයි ඔය පාරිසුද්ධිපධානියඞ්ගය හතර තියෙනවා නේ.

එතකොට ඒකේ අපි දන්නවා වේදනාව, ඊළඟට චේතනාව, මේ පැත්තෙන් ඉදංසච්චය, ඊට පස්සේ භය අගතිය කියන ඔය චතුරශ්‍රය වගේ. එතකොට මේකේ, කොහොම ද මේක නතර වෙන්නේ කියන එකයි බැලුවේ.

ඒ කියන්නේ අපි, මගේ ප්‍රශ්නේ තිබුණේ ඒ කලින් භාවනා කරපු වෙලාවේ ඔය සීලපාරිසුද්ධිපධානියඞ්ගයයි චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයයි තියෙනවා නම් අර දෙපැත්තට තියෙන දෙක, චේතනාවට එන එකයි, ඊට පස්සේ මේ භයේ අගතියට යනවායි කියන එකයි එතන කැපෙනවා කියන අර්ථය තියෙනවා.

එතකොට මේ දෙක තිබුණාට මේක නතර වෙනවා ද කියන එකයි බැලුවේ. එතකොට ඒ කලින් භාවනාවේදි තේරුම් ගත්තා මේක මෙහෙම වෙන්නෙ නෑ, මොකද අපිට මාන්නය තියෙන නිසා, අපි දුස්සීලභාවය ඒ නිසා ම මාන්නය මාන්නය නිසා අපි චේතනාවෙ ඉඳන් අර පල්ලෙහාට භය අගතියට යන ගමන දිගේ ගමන් කරනවා.

ඊළඟට ආපහු පේනවා ඒ වගේ ම ධර්මතාවයක් අර පල්ලෙහාත් තියෙනවා. දැන් උඩ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යනවා වගේ ම ආපහු තවත් ධර්මතාවයකින් පල්ලෙහා කොටසෙත් දිවෙනවා කියන එක පේනවා.

ඒකේ හේතුව තමයි අපි දුස්සීලභාවය තියෙනවා නම් දුස්සීලභාවය නිසා පරියුට්ඨානය. පරියුට්ඨානය නිසා චිත්තස්ස සම්පලිබොධය. ඒකෙන් අප්පටිවේධය. දැන් දන්නේ නෑ මොකද මේ වෙන්නේ කියන එක. සුඛ නිසා ද සුභ නිසා ද කියන කතාවක්, ඒවා දන්නෙ නැතිකම තියෙනවා. ඒක නිසා අවිද්‍යා ආශ්‍රව ඇති වෙලා ආපහු කාම ආශ්‍රවයට යනවා.

එහෙම නම් පල්ලෙහායිනුත් ඕක කැරකෙනවා කියන එක තියෙනවා. එහෙම නම් අපිට පේනවා අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යෑමකුත් තියෙනවා. අර දිට්ඨි ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට යන එකකුත් ඇති වෙනවා.

එතකොට දැන් මට මේ වෙලාවෙදි ඒ මතක් වෙච්චි එක තමයි ඒ අර සිඛී බුද්ධ ගාථාව. සිඛී බුද්ධ ගාථාවේ පෙන්නනවා මේ ලෝකේ යම්කිසි දුක්ඛයක් ඇති වෙනවා නම් “යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්‌ඛාර පච්චයා, සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්ඛයො හොති එවං ඤත්වා යථා තථා” එතකොට මේ දෙක අර ඉස්සෙල්ලා කියපු ධර්මයත් එක්ක සම්බන්ධ වුණා.

ඒ කියන්නේ සඤ්ඤාව කියන එක නතර වෙන්න ඕනෙ. එහෙම නම් අර, ඒ කියන්නේ අර සඤ්ඤාව නිසා සුඛයි කියලා සඤ්ඤාවක් නිසා තමයි අපි අර පල්ලෙහාට ගමන් කරන්නේ අර මාන්නය නිසා කතා කරන්නා වූ දේ, කියන එක ඒකට සම්බන්ධ වෙනවා.

එතන තියෙන්නේ මමංකාරය. එහෙම නම් මාන්නය ආවේ මමංකාරය නිසා ඇති වුණා වූ ඒ දේ නිසා තමයි ඉතින් එතකොට ඒක නැති වෙන්න ඕනෙ.

ඊළඟට අර සංස්කාර නිසා, දැන් ඒ කියන්නේ මේ අපි දැන් කරන්නා වූ දේ ගැන තමයි මේ කතා කළේ. ඊළඟට ආපහු තියෙනවා පෙර සංස්කාරයන් නිසා මට ඇති වුණා වූ පරියුට්ඨානය කියන එක. පෙර සංස්කාරයන්ගෙන් නිසා තමයි මගේ සිත මැඩ පවත්වාගෙන ඉන්නේ. මම හොරකම් කරපු මනුස්සයා, පාණාතිපාතා කරපු මනුස්සයා කියන එක අර්ථය උඩ, ඒකෙන් මැඩගෙන පරියුට්ඨානයෙන් අප්පටිවේධය ඒ කතාව ඇති වෙනවා.

එතකොට මේක නැති වෙන්නේ මේ සංස්කාරයන් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම ගැලවිලා යන්න ඕනෙ. ඒ කියන්නේ පූර්ව සංස්කාරයන් අත හරින්න, මේක වෙන්න නම් ඉතින් නිර්වාණයට මනස යොමු වෙන්න ඕනෙ. ඉස්සර මං මේවාට අගයක් දුන්නා. දැන් නිවන සඳහා මේ රැකියාවල්වලටවත්, මිච්ඡා ආජීවය මේවා කිසිම එකකට මම අගයක් දෙන්නේ නැහැයි කියන එක එන්න ඕනෙ.

එතකොට මෙහෙම වෙනවා නම්, ඒ කියන්නේ යට කතාවේ තියෙන්නේ අහංකාරය. උඩ කතාවේ තියෙන්නේ මමංකාරය. ඒ සඤ්ඤා සමථා කියලා කිව්වහම මමංකාර කතාව නැති වෙන්න ඕනෙ. එතකොට මමංකාරයයි අහංකාරයයි දෙක නැති වීමෙන් තමයි මේක නැති වෙන්නේ.

ඉතින් මේකේ භාවනාවේ නම විජ්ජා විමුක්ති කියන එක.