ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ වගේ ම භාවනාව පටන් ගත්තා. ඒ කාමච්ඡන්දය කියන්නේ, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයන්ට කියන එකට කැමති වෙනවා. ඉතින් එහෙම නම් මුළු දුක්ඛස්ඛන්ධයට ම කැමති වෙනවා කියන එක කල්පනා කළා. එතකොට, එහෙම නම් අපි කාමච්ඡන්දය නිසා තණ්හා වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඒ තුන ඇති වෙනවා. එහෙනම් අපි තණ්හා වෙලා තියෙන්නේ මේ මුළු දුක්ඛයට ම යි කියන එක එනවා.
ඉතින් මම ඊයේ කරපු භාවනාව දක්වා ම ඔය පථය දිගේ, දිගට ගියා. එතෙන්ට ගියාට පස්සේ, ඊයේ මතකයි ඕගොල්ලන්ට අපි කිව්වා, ඔය වේදනා, පරාමාස, භය අගති කියන triangle එකට එනකම් ආවා. ඒකෙන් පෙන්නුවා, අර සීලබ්බත උපාදානය, ඒකෙන් කාම තණ්හාව. පරාමාසයේ ඉඳන් භය අගතියට එන්නා වූ එක. එතන තියෙනවා අපිට භව තණ්හාව, කාම උපාදානය. ඊට පස්සේ, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා, එතන විභව තණ්හාව වෙනවා. ඉතින්, ඒ වගේ ම අපි ඉගෙන ගත්තා, අර දිට්ඨි උපාදානයයි අත්තවාද උපාදානයයි කියන එක.
ඉතින්, අද තියෙන්නේ, උපාදාන පච්චයා භවො, කියන එක බලන එකයි. එතකොට මෙතන තියෙන්නේ මොකක් ද? ඔය triangle එක. ඒ කියන්නේ, වේදනා පරාමාස භය අගති කියන ඒ hub ඒකේ කැරකැවීම. ඒක තමයි මේ අපි භවය කියලා කතා කරන්නේ. එතකොට මෙතෙන්දි කල්පනා වෙන්න ඕනෑ, අර සබ්බාසව එකේ, 3 වෙනි diagram එකේ, අර මැද්දේ තියන hub එක. ඒකෙ පෙන්නන්නේ වේදනා පරාමාස භය අගති කියන ඇතුළේ තිබෙන්නා වූ එක, ඊට පස්සේ, ඒක වටේට අපිට තියෙනවා අර ආශ්‍රවයන් තුන. ඉතින් ඒක බලන්නේ නැතිව කෙනෙකුට අමාරුයි මේක තේරුම් ගන්න.
ඉතින් අපි දන්නවා, ඔය hub එක පොඩ්ඩක් ඉස්සරහට ගියා ම, එහෙනම් පිටි පස්සෙන් අවිද්‍යා ආශ්‍රවය, එතනින් ඊළඟට යන්නේ භය අගති සෝක කාම ආශ්‍රව, කියන එකට. එතකොට, අන්න ඒ අවස්ථාවේ දී අපි කල්පනා කරන්න ඕනෑ, අර සඤ්ඤාව කියන තැන, අපේ යම්කිසි ඇරීමක්, අවිද්‍යා ආශ්‍රවය නිසා ඒ සඤ්ඤාවේ ඇරීමක් කියන එක, අර දිය උල්පතේ ඇරීම කියන එකට, ඒක සම්බන්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ පවතිනවා කියන අදහස. ඊට පස්සේ ඔය කාම ආශ්‍රව කියන තැනට ආවා නම් කල්පනා කරන්න ඕනෙ තමන් ඇවිල්ලා තියෙනවා කියලා, අපි දන්නවා නේ ජාතිය, ඒ ජාතිය, පවතිනවා කියන මිච්ඡාදිට්ඨික දෙය මත, උපායාසය, පැවතිය හැකි ය කියන මිච්ඡාදිට්ඨික අගය, ඒක ගලලා, කාම ආශ්‍රවයට ආවා නම් එතනට එනකම් ගලලා, කියන එක ගන්න තියෙන්නේ.
දැන් එතෙන්ට ආවා නම් ඊළඟට තියෙන්නේ මොකක් ද? වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. එතකොට, එහෙම නම් මේක පිටි පස්සේ ඉන්නේ කාම ආශ්‍රවය කියන එක. එතකොට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව නම්, ඒ වෙලාවෙදි අපි කල්පනා කරන්න ඕනෙ අර නාමරූප පච්චයා සළායතන කියලා කිව්ව නේ, ඒ භාවනාව. අන්න ඒ භාවනාවේ අර්ථය එතෙන්ට එන්න ඕන. ඒ කියන්නේ චේතනාව කියන තැන අපි “ඇස” ගත්තා, මම කිව්වේ අර අපි නිතර ම විඤ්ඤාණ ධාරාව ගලනවා, අපි ආහාර සොයාගෙන යනවා. යනකොට ටොපියක් දැක්කා, ඒක ගන්නේ නෑ, පාන් කෑල්ලක් දැක්කා, ආ මේකයි කියලා ගන්නවා. අර නයා ගියා, මේක නෙමෙයි, මේකයි, කියලා ගත්තා වගේ. වතුර පාරත් එක්ක ඒක සිද්ධ වෙනවා.
ඉතින් අපි එතන ඉගෙන ගත්තා, ඔය විදිහට, නාමරූප පච්චයෙන් සළායතනය කියන එක. එහෙම නම් ඒ සළායතනය කියන තැන, චේතනාව කියන තැන, අපි ලියා ගත්තොතින් ඇස, කණ කියන එක නේ එතන එන්නේ. දැන් එහෙම නම් අපි කල්පනා කරන්න ඕනෙ වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියනකොට, අන්න ඒ ඇස නිසා, දැන් අපි දන්නවා, පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අපි උඩ පැත්තට ලියනවා නේ “අත්තා.” ඒක උඩ මේ පැත්තෙන් එන්නා වූ, සුඛයි කියලා එන්නා වූ එක, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක, ඒක ගලනවා කියන එක. එතකොට මෙතනින් එනවා තමන්ට, මේ ඇස කියන එක පවතින නිසා, මට මේ ධාරාව ගලනවා කියන එක. මේ hub එකේ කැරකීම, තනිකර කියන්නේ. එතකොට ඒ දෙකෙන් ඒ කාරණාව සිද්ධ වෙනවා නම්, ඔතන තිබුණා වූ කැරකවීම නිසා ඇති වෙන ආස්වාදය අපේ අවිද්‍යා ආශ්‍රවය කියන එකට යනවා.
ඊළඟට මේක පවතිනවා කියන එක, ඇස පවතිනවා කියන එක, පරාමාසගත වෙනවා. වරදවා වටහා ගන්නවා. ඒක හිතන්න අර අවිද්‍යා ආශ්‍රවය නිසා, අපි පවතිනවා කියන කතාව ආවා, අර සඤ්ඤාව දෙසට යනවා කියලා අපි මුලිනුත් පටන් ගත්තේ, ඒක දැන් පරාමාසයට ආවා, පවතිනවා කියන එක, මෝහයේ ඉඳන් එන්නා වූ කොටස.
පැවතිය හැකි ය කියන එක අලුත් සංස්කාරයන් නිසා, චේතනාව තියෙන තැන ඇහැයි, ඇහෙන් අපි ආවා ඔන්න ඉදංසච්චයට. ඉදංසච්චයට ආපු එක එනවා පරාමාසයට. ආන්න එතෙන්දි අපිට තියෙනවා අර පැවතිය හැකි ය කියන අදහස. දැන් එහෙම නම් මෙතන තියෙන්නේ පවතිනවා, පැවතිය හැකි ය කියන එක තමයි අපේ පරාමාසගත වෙලා වැරදියට තියෙන්නේ. දැන් ඊළඟට තියෙන්නෙ මොකක් ද? පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව.
එතකොට, මෙන්න මේ ක්‍රමයට, දැන් අවිද්‍යා ආශ්‍රවයේ අපි කිව්වා නේ කරකැවීම නිසා තියෙන ආස්වාදය. පරාමාසයේ වැරදියට අරන් තියෙනවා අපි පවතිනවා, පැවතිය හැකි ය කියන එක. අර ඇස නිසා ඇති වෙලා තියෙන එක.
ඉතින් මේ විදිහට ඔන්න ඔය තුන් ධර්මයෝ, තුන් ධර්මයෝ කියලා කියන්නේ, මේ hub එකේ කරකැවීම නේ පෙන්නන්නේ, ඒ කියන්නේ වේදනා පරාමාස භය අගති. එතකොට, භය අගති සෝක කාම ආශ්‍රව කියලා එක ධර්මයක්. ඊළඟට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියලා තව ධර්මයක්. පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියලා තව ධර්මයක්.
අන්න ඒ තුන් ධර්මයෝ නිසා, මෙන්න මේ hub එකේ කැරකැවීම කියන එක තියෙනවා ද, භ්‍රමණයක් තියෙනවා ද, ආන්න ඒක තමයි භවය. භවය කිව්වා ම නිකම් අර භ්‍රමණය වාගේ තමන්ට පේනවා, ඒකේ කැරකැවීමක් තියෙනවා ද, අන්න ඒක තමයි භවය කියන එක.
ඒ කියන්නේ මේ දක්වා කරපු ඒ ඔක්කෝම ටික මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා, අර සබ්බාසව එක, ඒක අපි කලින් කළේ නැත්නම්, මේක වැටහෙන්නේ නෑ, මොකක් ද මේ කියන්නේ කියන එක. ඉතින් ඒ විදිහට භවය කියන එක, උපාදාන පච්චයෙන් භවය, කියන එක. ඒක හරි ගැඹුරුයි.
ඒක තමයි මං කරපු භාවනාව.