පූජාවෙන් පස්සේ මම කරපු භාවනාව. ඒකෙදි මම කළේ ඊයේ මම කරපු භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ කළේ මොකද්ද, ඒ උතුම් බුදුපියවරු ඒ ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කරලා, ඊට පස්සේ ඒ අපි ඊට පෙර කළා වූ භාවනාවක් තියෙනවා. ඒකේ සඳහන් වුණා මේ රූපය ස්පර්ශ කරන ලද සංස්කාරයන්ගේ විෂමතාවය කියන එක ඇතියි කියන එක. එතකොට අපි කිසිම ආකාරයකින් අපිට පුළුවන්කමක් ඇත්තෙ නෑ මේ සංස්කාර දෙකක් සමාන කරන්න. පෙර තිබුණා වූ සංස්කාරයෝයි දැන් තියෙන සංස්කාරයෝයි. ඕගොල්ලෝ තරුණ කාලේ යම්කිසි වැඩක් කළා ද, ඒ වැඩේ දැන් කරනවා කියනකොට වයසට ගිහිල්ලා කරනකොට ඒක කරන්න බෑ අර විදිහට. එතකොට ඒ සංස්කාර දෙක සමාන වෙන්නේ නැහැයි කියන එක ජරාව නිසා පේනවා.
ඉතින් මං භාවනාව පටන් ගත්තේ ඒ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, කාමච්ඡන්දය කියන්නේ ජරාවට තියෙන කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණයන් කියන ඒවාට කැමති වෙනවා. ජාති ජරා, එතකොට ව්‍යාධි මරණයට කැමති වුණා නම් මරණයෙන් පස්සෙ අපිට ආපහු ජාතිය කියන එක ඇති වෙනවා. එහෙම නම් අපි මේ නතර වෙන්නේ නැති, endless cycle එකක තමයි යන්නේ. ජරා ව්‍යාධි මරණ, ආපහු අපි ජාතිය කියන එක ඇති කරනවා. ආපහු ජරා ව්‍යාධි මරණ. ඉතින් ඊට පෙර භාවනාවක අපි පෙන්නලා දීලා තියෙනවා ඒ කියන්නේ ඔය කාරණා තුනක්. ජාතිය, වේදනාව, නාමරූප. ඕක එක රේඛාවකට ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. ඕක ඔය විඤ්ඤාණ ධාරාව ගමන් කරන්නා වූ පථයක් ඒ තියෙන්නේ එතන.
ඉතින් ඕක අපි පෙන්නලා දීලා තියෙනවා ඔය වේදනාව තියෙන තැන පසු අත්තා ධර්මය කියන එක. අපි මොනවා හරි අඹ ගෙඩියක් හරි කාලා අත්තා කියලා ඇති වුණාට පස්සේ සඤ්ඤාවක් ඒක පසු අත්තා ධර්මය. ඔය ජාතිය කියන තැනට එනවා පෙර අත්තා ධර්මය. අඹ ගෙඩිය කන්න ඉස්සෙල්ලා අපි යම්කිසි විදිහකට අඹ ගෙඩිය ස්පර්ශ කරලා අපිට ඇති වුණා වූ දෙයක් තියෙනවා නේ මේක හොඳයි ආදී වශයෙන් නේ ද? ඒක අර පසු අත්තා ධර්මය නිසා ම තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට ඔය නාමරූප කියන තැනට එනවා, දැන් අත්තා ධර්මය. ඉතින් කෙටියෙන් කියනවා නම් මෙතන මේ කියන්නේ මිච්ඡා දිට්ඨීන් තුන. පෙර මිච්ඡා දිට්ඨියයි, පසු මිච්ඡා දිට්ඨියයි. ඒ පසු මිච්ඡා දිට්ඨිය වේදනාව තියෙන තැන මතක් කරගන්න. පෙර මිච්ඡා දිට්ඨිය කියන එක ජාතිය කියන තැන ලකුණු කරගන්න. එතකොට ඒක නිසා ඉතින් දැන් අත්තා ධර්මයක් ඉතින් දැන් මිච්ඡා දිට්ඨීයෙන් ඇති වෙනවා.
ඉතින් අපි ඔය වත්ථූපම සූත්‍රයේ ගැඹුරට සාකච්ඡා කළහම අපි ඉගෙනගෙන තියෙනවා අපි මිච්ඡා දිට්ඨියෙන් කියන එකෙන් පටන් අරගෙන ඊට පස්සේ අපි විවිධාකාර වූ සංස්කාරයන් කරලා ආපහු නැවතත් යන්නේ මිච්ඡා දිට්ඨියට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොතින් අපි හිතමු මනුස්සයෙක් දුප්පත්ව ඔය ගොවිතැනක් කරගෙන කුඩා පැලක ඉන්නවා. එයාට පේනවා තවත් මනුස්සයෙක්, ඒ පුද්ගලයා කුකුල් පට්ටියක් දාගෙන කුකුල්ලු මරලා විකුණලා, ඊට පස්සේ එයා Benz car එකක යනවා. එයාගේ දරුවොත් හොඳට ඉන්නවා, කාලා බීලා ඉන්නවා, හොඳ පාසල්වලට යනවා, ආදී වශයෙන් මෙයාට පේනවා. මේ මනුස්සයාත් කල්පනා කරනවා මමත් ඔය වැඩේ කරනවා. දැන් අර හිටපු බෞද්ධයා, බෞද්ධකම අතහැරලා අර විදිහට ඒ කුකුල් පට්ටි දාගෙන මරාගෙන ඒ කරන්නා වූ සංස්කාරයන්.
දැන් ඊට පස්සේ හාමුදුරුවෝ බණට කිව්වා වුණත් ඒ සත්තු මරණ එක හොඳ නෑ මහත්තයෝ කියලා අර මනුස්සයාට ඒක අත හැරගන්න බෑ නේ ද? ඇයි ඒ? මගේ ළමයි ජීවත් වෙන්නේ, හොඳ පාසල්වලට යන්නේ, මං අද මෙතන්ට Benz car එකෙන් ආවේ, මේවා ඔක්කෝම කියලා අර මාන්නයත් එක්ක ඇති වෙච්ච දේවල් තියෙනවා. එතකොට වුණේ මොකද්ද? දැන් එයා අනුමත කරනවා අර විදිහට ජීවත් වෙන එක හොඳයි කියලා.
එහෙනම් මිච්ඡා දිට්ඨියෙන් පටන් ගත්තා, ඊට පස්සේ දුස්සීලභාවය කියන ඒ සංස්කාරයන් කළා, ආපහු මිච්ඡා දිට්ඨිය කියන එකට ම එයා ආවා කියන එක එනවා. එතකොට එහෙම නම් අර පෙර මිච්ඡා දිට්ඨියයි පසු මිච්ඡා දිට්ඨියයි සමාන වෙන්නේ නෑ නේ ද? ඒ දෙක මැද්දේ අර කුකුල් පට්ටිය දාගෙන කරපු පාණාතිපාතය වාගේ සංස්කාරයන් තියෙනවා කියන එක පේනවා. එතකොට ඉතින් ඒක, මේක මෙහෙම සමාන නොවෙන්නේ හේතුව කුමක් නිසා ද? තණ්හාව අධිකයි. තණ්හාව අධිකයි, මේ විදිහට සංසාරේ කරකව කරකව යන්න තියෙන්නා වූ කැමැත්ත කියන එක එයාට අධිකව තියෙනවා. එතකොට මෙතන අපි ඊයේ ලියාගත්තා, ඒ නාමකායේ යම්කිසි අගයක් වේ ද, රූප ස්පර්ශ කර මෙය ලබාගත නොහැක කියලා.
එතකොට ඒ නාමකායේ ස්පර්ශය කියලා කියන්නේ දැන් ඔය, දැන් අපිට ඕක ගැඹුරට බලනවා නම් දැන් ඔය විඤ්ඤාණ ධාරාව හිතන්න ගඟක් වාගේ ගලාගෙන යනවා කියලා. ඇලක් දොලක් වාගේ. ඒක එක තැනකදි ලොකු වෙනවා තව තැනකදි පොඩි වෙනවා. එහෙමත් නැත්තන් ඕගොල්ලන්ගේ ගෙදරට වතුර එනවා ඒ වතුර පාර ඕගොල්ලන්ට ඊයෙට වඩා අද අඩු නම් ඕගොල්ලන්ට දුකක් තියෙනවා. ආපහු හෙට දවසේ ටිකක් හයියෙන් වතුර එනවා. ඒකත් දුකයි. ඇයි? එන්නේ මඩ, බොර වාගේ දේවල්. අඩු වුණත් දුකයි, වැඩි වුණත් දුකයි. ඔන්න ඕක ඔය “විඤ්ඤාණකායේ සටහන් වෙනවා” කියලා රහතන් වහන්සේ පවසනවා. ඉතින් විඤ්ඤාණකායේ ඕක අඩු වුණා වැඩි වුණා කියලා සටහන් වුණා කිව්වහම, ඉතින් අන්න ඒ අගයන් කියන ඒවා ඔය නාමරූප කියන ඒවායේ, ඒවායේදි තමයි ඒක ඒ බැසගෙන ඒකේ පවතින්නේ. ඒවායේ තැන්පත් වෙනවා නාමරූපවල. ඉතින් ඒ නාමරූපවල තැන්පත් වුණාට පස්සේ ඒ රූපයන් ස්පර්ශ කරලා, අලුතෙන් අපි රූපයක් ස්පර්ශ කරා කියලා අපිට පුළුවන්කමක් නෑ අරක ලබා ගන්න. මොකද අපේ අර, දැන් අර මනුස්සයා කුකුල් පට්ටිය අතහැරියා වුණත් පස්සෙ කාලෙක, ඒ මනුස්සයාට හැඟීම් තියෙනවා මම අර කුකුල් පට්ටිය කාලා හිටපු කාලේ මම හොඳට සැපට හිටියා, ආදී වශයෙන් හැඟීම් එයාට තියෙනවා.
ඉතින් එහෙම හැඟීම් සහගතව එයා ඉන්නවා කියන එක බැලුවහම, මේවා අයින් කරන්න නම්, ඉතින් තියෙනවා ධර්ම කාරණා ඒවා ඔක්කොම කියන්න බෑ. ඒකේ තියෙනවා කායපාගුඤ්ඤතා, කාය මුදුතා, චිත්ත මුදුතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා ඒ විදිහට ධර්ම කාරණාවන් තියෙනවා. ඒවා ක්‍රමානුකූලව එකින් එක බලන්න ඕනෙ. ඉතින් මේවා බැලුවායින් පස්සේ ඔය කායමුදුතාව කියන එකෙන්, මුදුතාව කිව්වහම නිකන් bend වෙනවා, නම්‍යභාවයක් කියන එක තියෙනවා. අන්න ඒක මගින් මේ සංස්කාර ස්කන්ධයේ යම්කිසි තද බවක් තියෙනවා ද අන්න ඒ තද බව කියන එක ගැලවෙනවා. ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයේ තද බව කියන එක කෙනෙකුට විශාල වශයෙන් ඇති වෙලා තියෙන්නේ අපි අරූප ධ්‍යානයන් කියන ඒවා, ආකාසානඤ්චායතනය වාගේ අරූප ධ්‍යානයන් අල්ලගෙන හිටියා කියන එක තියෙනවා නේ. කුකුල් පට්ටිය අතහැරියාට අර කුකුල් පට්ටිය ජීවත් වෙච්ච කාලේ තිබුණා වූ හැඟීම් තියෙනවා කිව්වේ.
ඒ වගේ තමයි ඕගොල්ලන්ට අරූප ධ්‍යානයන්, කලින් භවවල තිබුණා වූ බොහෝ කාලයක් ජීවත් වුණා කියන නිත්‍යභාවයන් එහෙම තියෙනවා නේ නේ ද? ඒකේ තිබෙන්නා වූ බලපෑම, තද බව කියන එක තියෙනවා. ඒක නිසා මට ඉන්න පුළුවන් කියන හැඟීම් කියන ඒවා ඕගොල්ලන්ට තියෙනවා. ඉතින් අන්න ඒ තද බව කියන එක ඉවත් කරනවා. සංස්කාරවල තියෙන තද බව. මෙන්න මේ සංස්කාරයයි කියලා අල්ලගෙන ඉන්නේ නැති බව.
එතකොට ඕක පෙන්නන්න පුළුවන්, අපි ඔය චිත්ත සංස්කාරයන් හදන්නේ වේදනාව සඳහා. එහෙම නම් වේදනාව සඳහා පාරවල් තුනකින් අපි එනවා කියලා අපි කල්පනා කරලා තියෙනවා කලින් භාවනාවල. ඒ කියන්නේ අපේ එනවා පරාමාසකායගන්ථය, තමන් කලින් ගත්තා වූ දේවල් නිසා එන්නා වූ පාරක් තියෙනවා. ඊළඟට ආපහු ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, ඕගොල්ලෝ අනුමත කරා වූ ධර්මයෝ තියෙනවා. අර අරූප ධ්‍යානයන් සහගතව ඉන්නවා කියන වශයෙන්. එතකොට ඒ පැත්තෙන් එන එකකුත් තියෙනවා. තවත් පාරකින් එනවා ඔය විඤ්ඤාණයේ ඉඳන් සංස්කාර හරහා ඒ භය අගතියට ගිහිල්ලා එතනින් වේදනාවට එන්නා වූ පාරකුත් තියෙනවා. එතකොට මෙන්න මේ පාරවල් තුන ම දැකලා, අර පාගුඤ්ඤතාවයන් එහෙම භාවිතා කරලා ඒවා අපි නවත්තනවා.
ඒ නැවැත්තුවායින් පස්සේ ඒ පුදුමාකාර වූ නිදහසක් කෙනෙකුට තියෙනවා. එතකොට සංස්කාර කෙළවර අයින් කළා, එහෙම නම් වේදනාව කියන එකේ නිරෝධයට ගියා. ඔන්න ඕක තමයි තථාගතයන් වහන්සේ “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා” කියලා කිව්වේ. සංස්කාරයන්ගේ සමථය කියන එක ගත්තහම අපිට නවත්තන්න බැහැ, අපි බැලුවොතින් එහෙම මේ සංස්කාරයට වඩා මේ සංස්කාරය හොඳයි කියලා තදින් අල්ලගෙන ඉන්නවා නම්.
එතකොට ඒ සංස්කාරයන් අපි ඒවා සම්පූර්ණයෙන් ඒවා සමථයකට පත්වෙනවා මේක දෙකක්, සංස්කාර දෙකක් සමාන කරන්න බැහැයි කියන අවබෝධය ඇතුව ඒකේ අයින් කිරීමක් කියන එක තියෙනවා නම්. අර තද බව කියන එක අයින් කළා, එහෙම නම් වේදනාවේ නිරෝධයට ගියා. වේදනාව නිසායි සඤ්ඤාව, අන්න එතෙන්දි සඤ්ඤාව කියන එක ඒ නතර කිරීම කියන එක ඒක නිසා සිද්ධ වෙනවා. නැත්තන් සඤ්ඤාව නතර වෙන්නේ නෑ. ඉතින් මේක බොහෝ ම ගැඹුරු භාවනාවක්. ඕගොල්ලන් අහලා කලින් දේවල් බලලා නැති නිසා තේරෙන්නෙ නෑ. නමුත් පුදුමාකාර විදිහට ඒ විමුක්තිය කියන එක ලබාගෙන නිදහස ලබා ගන්න පුළුවන් දෙයක්.
ඒක තමයි මං කරපු භාවනාව.