උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ වන බව දැන වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී වර්තමානයේ සිදු වෙන, වර්තමානයේ යමක් කරන ලද්දේ නම් එය කෙසේ බලපාන්නේ ද යන්න ගැන නැවතත් සිත යොමු කළා. සිතන මොහොතක විඤ්ඤාණය බැසගෙන සිටී නම් එයින් ස්ථිතියක්, ස්ථාවරයක් ඇද්ද, මෙය අවිද්‍යාවට බීජයක් වේ යැයි, කියලා අපි ඉගෙන ගත්තා.
ඉතින් මෙතෙන්දි කෙනෙකුට ඒ ධර්මය diagram එකක් වශයෙන් හඳුනා ගන්නවා නම් පුළුවන් වෙනවා අර අවිද්‍යා අනුසය රේඛාව වේදනාව, උඩ අසම්පජානය. එතකොට අපි දන්නවා වේදනාවෙන් චිත්තස්ස සම්පලිබෝධය වම් අත පැත්තට, පරියුට්ඨානය, කබලිංකාර ආහාරය, උඩ අප්පටිවේධය. ඒ අප්පටිවේධයෙන් අපි යනවා චේතනාවට උඩින් අර අවිද්‍යා ආශ්‍රව, එතනින් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල. අපි ආපහු එන්නෙ අර අප්පටිවේධ සඤ්ඤා කියන තැනට ම තමයි. අර අසම්පජානකාරීත්වය කියන තැන.
එතකොට මෙසේ අවිද්‍යා අනුසයෙන් පටන්ගෙන අවිද්‍යා ආශ්‍රව වූයේ අප්පටිවේධ වූ සඤ්ඤා භාවිතා කර වර්තමානයේ විඤ්ඤාණය අල්ලා ගැනීම ද, සැකසීම ද යන ධර්මයන් දෙක එකතු වන්නේ නම්, දිට්ඨිය නිසා ම ඇති වූ සිතක් සිතීමකින් තොරව පවතියි. මෙහි යම් ස්ථාවරයක් ඇත්ද උණුසුමක් ඇත්ද තේජෝ ධාතු ස්වභාවය නොබිඳී පවතියි. මේ නිසා සත්වයෝ ස්පර්ශය භාවිතා කර රූප සහිත ලෝකයේ හෝ අරූප සහිත ලෝකයේ හෝ නොසිඳී පවතී, නොමැරී පවතී යන අදහස ඇතිව වාසය කරයි. මෙය මුළාවකි.
ඉතින් මේ භාවනාව කරගෙන යද්දී කිසිදු උත්සාහයකින් තොරව විවිධාකාර රූපයන්, අරූප භවවල අත්දැකීම් පවා දුටුවා. ඒ කියන්නේ හිරුගේ රශ්මිය, උදාහරණයක් හැටියට කියනවා නම්. නමුත් සකස් කිරීමකින් තොරව විඤ්ඤාණයක් නැත. එසේ නම් සකස් කිරීමක් ඇත. කුමක් මගින් ද? තම තමන්ගේ දිට්ඨින් මගින්. මෙම දිට්ඨින් අතීත භවවල ජීවත් වීම නිසා සිදු වූවක් ලෙස සැලකිය යුතු ය. යමෙක් හිරු රශ්මිය ලබා ගැනිමියි සිතා පුටුවක් ගෙන හිරු රශ්මිය ඇති තැනක වාඩි වන්නේ ද, අලුතෙන් හිරු රශ්මිය ලැබේවා යැයි නොසිතයි ද, මෙය එසේ ය.
පෙර කරන ලද කාර්යය නිසා ස්වකීය වූ තේජෝ ධාතුවත් හිරුගේ තේජෝ ධාතුවත් මිශ්‍ර වීම, ස්පර්ශ වීම හේතුවෙන් අතීත භවවල සිදුවීම් දක්නා ලදී. මෙහි යම් මෙහෙයවීමක් ඇත්ද එය මගින් පුබ්බේනිවාසානුස්සති ඥානය ලබා ගනී.
ඒක තමයි භාවනාව.