Date: 09/02/2016 Name: විමංසා ඉද්ධිපාද

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් මම බැලුවේ, විමංසා සමාධියත් විමංසා ඉද්ධිපාදයත් අතර වෙනස. අපි දන්නවා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. ඒකේදි විමංසා සමාධිය මගින් මෝහ සල්ලය ඉවත් කරන බවත් අලෝභ අදෝෂ අමෝහ වන බවත් අපි ඉගෙන ගත්තා. අපි දැනගන්නවා ඒ අර diagram එකකින් සම්බන්ධතාවය පෙන්නුවා. දස අකුසලය, දස කුසලය, ලෝභ දෝෂ මෝහ ඒ සම්බන්ධතාවය. එතකොට ඒ සංස්කාර කරනවා නම් ලෝභ දෝෂ මෝහ වෙනවා. සංස්කාර කරන්නේ නැති නම් අලෝභ අදෝෂ අමෝහ වෙනවා. එතකොට උපසමාධිට්ඨානය හරහා අරි අට මඟ. ඒ අනුව අපිට පේනවා අලෝභ අදෝෂ අමෝහ කියන එක. එතකොට යම්කිසි සංස්කාරයක් අළලා විඤ්ඤාණය පැවතීමට යම් තුඩු දීමක් ඇති වූවා ද, ඒක ඉවත් කරනු ලබනවා. මෙතනින් ම සර්වප්‍රකාරයෙන් සියල්ල අවසන් නොවන බව අපි දනිමු. ඉන් අනතුරුව ඇති වන සුඛභාගීය ධර්මය මගින්, සබ්බනිස්සග්ගය භාවිතා කර ඉවත් කළ යුතු ධර්මයෝ ඇත. මේවා කුමක් ද?

පළවෙනි වශයෙන් පේනවා, සංස්කාර නිසා විඤ්ඤාණයේ යම් හටගැනීමක් පෙර වූවා ද, එය මගින් ඇති කරන ලද බලපෑම. උදාහරණ වශයෙන් පදුට්ඨමනසඞ්කප්ප අගයෝ ඉවත් කළ යුතු ය. ඉතින් ඔතනදි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ ඒවත් කල්පනා කරන්න ඕන. ඒ සංස්කාරය නිසා හරි පදුට්ඨමනසඞ්කප්පයක් ඇති වුණා ද? ඊළඟට දෙවනුව යම් සඤ්ඤා අගයක් වී ද, එය ඉවත් කළ යුතු ය. මේ සඳහා කොපමණ ප්‍රමාණයකට විමංසා විය යුතු ද? ධාතු විභංග සූත්‍රයේ සඳහන් වෙන ධාතු හය ම ඉවත් කිරීම ප්‍රමාණවත් වන්නේ ය. ඉතිරිව ඇත්තා වූ ආකිඤ්චඤ්ඤායතන අගයන්ගෙන් ඉවත් වීම, ධම්මමච්ඡරිය ඉවත් කිරීමෙන් අනතුරුව සිදු වේ. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට එන එක. මෙතන මේ හරි සියුම්. මේක හොඳට විමසලා බලන්න ඕන ධර්මයක්.

තුන් වෙනියට පෙන්නනවා යම් නිරෝධයක් වේ ද එහි ඇති යම් ඇල්මක් වේ ද, මෙය ද පහ කළ යුතු ය. දැන් අර දෙවෙනියට කියපු කාරණාවට කෙනෙක් හුඟක් බලනවා නම්, අපි ඉවත් කරගෙන ඉවත් කරගෙන යනවා, රූප ඒවා එපා, ධාතු වශයෙන් බලලා. ආකාසානඤ්චායතනත් එපා විඤ්ඤාණඤ්චායතනත් එපා කියලා බලනවා. එතකොට අපි අර රූපයයි සඤ්ඤාවයි ඒ කෙළවරට තමයි එතන ගහන්නේ. ඒක ගහලා දැන් අපි පෙන්නන්නේ ධම්මමච්ඡරියෙන් මං මේවායින් ඉවත් වෙලා, මං ඉන්නවා කියන එක නේ ද? ඒක නේ ඔය පෙන්නන්නේ හත් වන ධ්‍යානයේ දීත් කියන්නේ, මේවා මට එපා. එතකොට ඕක පොඩ්ඩක් සිහියේ තබා ගන්න ඕන.

ඊළඟට රහතන් වහන්සේ පෙන්නනවා. යමෙක් අනිත්‍යභාවය දැඩි කොට අවබෝධ කරගන්නේ නම්, මෙසේ විමංසාව මගින් සියලු දුක්ඛයන් කෙළවර කළ හැකි ය. මෙය සිදු වන්නේ ඡන්ද ඉද්ධිපාදය මගින් අනුසය ධර්මය පහ කිරීමෙන් අනතුරුව ය. යමෙක් අනාශ්‍රව ව ජීවත් වන්නේ යැයි සිතන්නේ ද? එහි ද අඩුපාඩුවක් ඇත. එනම් අනාශ්‍රවයේ වරදක් නැති වුවත්, ජීවත් වන්නේයි යන සිතීමේ අඩුපාඩුවක් ඇත. දැන් පේනවද pattern එක. ඒ මගින් සිදුවන්නා වූ අනුසය ධර්මයන් හටගනී. මෙය අනාශ්‍රව චිත්තයෙන් ඉවත් වූ පසු, ආශ්‍රවයන් සම්පූර්ණයෙන් නොනැසූ සෙඛ පුද්ගලයකුට වන දේ ය. මෙම අනුසය ඉවත් වන්නේ ඒ ඡන්ද ඉද්ධිපාදය මගිනි.

අර සඤ්ඤාවේ දී හොඳට මේක කෙනෙක් බලන්න ඕන. අර හයක් අයින් කරලා මෙතන අපි ආවා. දැන් එයා කියනවා, මම මේවායින් අයින් වෙලා ඉන්නවා කියන අදහස තියෙනවා. ඒ කතාව ම තමයි අනාශ්‍රව චිත්තයටත් ගිහින් තියෙන්නේ. එතකොට එහෙම නම් අපිට පේනවා මේ දස කුසලයෙන් අපි කිව්ව නේ, මෙන්න මේවා ටික අපි අයින් කරගෙන අයින් කරගෙන යනවා කියලා. දැන් හිතන්න අභිජ්ඣා ගැන. අභිජ්ඣාවෙන් වෙන්නා වූ දේ, මම මෙහෙම කරගෙන ඉඳිමි, කියන අර්ථය කියන එක. ඒක හුඟක් ම ඒ විමංසාව, අරක අයින් කළාට පස්සෙ, ඒ ඡන්ද එකෙන්. මේක හරි සියුම් ධර්මයක්, කළාට පස්සෙ තමයි ඒක වැටහෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Threekindofbadconduct.jpg


Threekindofgoodconduct.jpg