උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද ඒ භාවනාවෙදි විමසලා බැලුවේ, ඒ ධ්‍යාන හතර භාවිතා කරලා, ජීවත්වන්නකු ඉද්ධි ප්රාතිහාර්යයන් පවත්වන්නේ කොහොම ද කියන එකයි.
එතකොට ඊයේ භාවනාවෙදි අපි බැලුවා නේ විමංසා සමාධිය. එතෙන්ට ආවේ අලෝභ, අදෝෂ, අමෝහ හරහා. එහෙම නම් දස කුසලයයි, එතනින් ඇති වෙන්නා වූ අලෝභ, අදෝෂ, අමෝහ. එතනින් එනවා අරි අට මඟ. ඒක හොඳට සිහි වෙන්න ඕන.
එතකොට, රහතන් වහන්සේ පැවසුවේ, “යම් ධ්‍යානයක් මනා කොට භාවිතා කරන්නේ ද, සිහි එළඹ වන්නේ ද, ඉද්ධිපාදවලින් යම් ඉද්ධිපාදයක් මනා කොට පුහුණු කර තිබිය යුතුයි.” උදාහරණ වශයෙන් විමංසා ඉද්ධිපාදය දියුණු කර ඇති පුද්ගලයා, හතර වෙනි ධ්‍යාන සමාපත්තිය මනා කොට දියුණු කර තිබිය යුතුයි.
යම් විෂයක් කෙරෙහි දැන ගැනීමට අවශ්‍ය ද, එයට සුදුසු පරිසරය පෙර දී ම සකසා ගත යුතුයි. ඉන් අනතුරුව සමාපත්තියට සමවැදී, දැන ගැනීමට අවශ්‍ය වන ධර්ම කාරණයට සිත යොමු කළ යුතුයි. සුදුසු පරිසරය වශයෙන් අදහස් වන්නේ, සොයන්නා වූ ධර්මයට අදාළ වූ, අනෙකුත් කාරණා මැනවින් මෙනෙහි කර සම්පාදනය කර තිබීමයි.
ඉතිවුත්තකයේ සඳහන් වන අන්ධකරණ සූත්‍රය - පිටුව 431 පෙන්නලා දෙනවා අන්ධකරණ සූත්‍රය කියලා එකක්. ඒකේ අයුරින්, බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ දේශනා කරනවා, “අන්ධයෙකු කරන්නා වූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නා වූ, ප්‍රඥාව නිරෝධ කරන්නා වූ, දුක්ඛ පක්ෂය වූ, නිවන පිණිස නොපවත්නා වූ, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කයන්, අකුසල විතක්කයන් පහ කර, කුසල පක්ෂයේ වූ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක භාවිතා කරන්න ඕන.”
එතකොට, බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ පෙන්නනවා, “මහණෙනි, අන්ධකාර නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නා වූ, දැනීම කරන්නා වූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛ පක්ෂයේ වූ, නිවන පිණිස පවතින්නා වූ මේ කුසල විතක්කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්, නෙක්ඛම්ම විතක්කය, අව්‍යාපාද විතක්කය, අවිහිංසා විතක්කය.”
එතකොට අර මම ඉස්සෙල්ලා කිව්ව භාවනාවේ, දස කුසලයත් එක්ක එනකොට, අමෝහ, ඊළඟට අව්‍යාපාද, ඊළඟට අපිට තියෙනවා අනභිජ්ඣා කියන එක. ඒ තුන් ධර්මයන්ගෙන් කෙළින් ම ගන්න ඕන, අර අලෝභ, අදෝෂ, අමෝහ කියන එකට සම්බන්ධ වෙන එකත් එක්ක. ඒක කළයින් පස්සේ, ඒකත් එක්ක ම අර තමන් බලන්න ඕන, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා අනුව නේ, අරි අට මඟේ ඒක සිද්ධ වෙන්නේ. ඒක හොඳට මෙනෙහි කරන්න ඕන. එතකොට ඒ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක, මෙසේ පිරිසිදු වන්නේ නම් දැන ගැනීමට අවශ්‍ය වන අතීත භව වේවා, අනාගත භව වේවා, ඈත පිහිටි රූප වේවා, මේවා සියල්ල ම උතුම් ප්‍රඥාවෙන් යුතුව ම දැන ගත හැකියි.
ඒක තමයි ඉතින් මං කරපු භාවනාව. මම ඉතින් මෙතන හිටපු එක් කෙනෙකුගේ අනාගත භවයක් කියන එක, ඒ වෙලාවෙදි අකනිට්ඨාව බලලා, හිටපු එක් කෙනෙකුගේ අනාගත භවය කියන එක බැලුවා.
ඒක තමයි මම කළේ.