ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ බුදුපියවරු සිහි කරනකොට, මට ඕනේ නම් ඒ ඒ ධ්‍යානය ගන්න පුළුවන්කම තිබුණා. ආකාසානඤ්චායතනය කියන වචනය මතක් වුණා නම් ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ඒ විදිහට ආකිඤ්චඤ්ඤායතනය ඒ විදිහට. එතකොට ඒක නිසා ප්‍රීතියක් ඇති වුණා. ඒ ප්‍රීතිය ආපහු ඒක සංසිඳිලා ඒක යනකොට, ආපහු අරක හිතනකොට ආපහු ඒක ම ගන්න පුළුවන් වුණා. ඒ ඒ ධ්‍යානයන් කියන එක.
එතකොට අද භාවනාවේ දී විමසලා බැලුවේ, යම් අරූප ධ්‍යානයක් වෙද්ද, ඊට අනුකූල වූ සමාපත්තියක් වේ ද, එමගින් කුමක් කරන්නේ ද යන්නයි. අරූප ධ්‍යානය දස කුසලය පැවැත්වීමට ඉතා ම පහසු ස්ථානය බව අපි දන්නවා. ඒකෙ පාණාතිපාත අදින්නාදාන නැත. එමගින් ඇති වන්නා වූ යම් ලෝභයක්, ද්වේෂයක් වෙත් ද, ඒවා ද නැත. එහි අකුසල වූ සංස්කාරයන් නිරෝධ වී ඇත. තවමත් මෝහය නිසා කිඳා බැස ඇත්තා වූ අත්තා යන සංකල්පයන්, නිත්‍ය යන සංකල්පයන් ඇත. මෙහි යම් නිරෝධයක් ඇත්ද එතන නිවන ඇත. මේක වළක්වන බාධාව කිම කියන එක තමයි විමසුවේ.
යම් අරූප ධ්‍යානයකින් ජීවත් වී සිටීමට කැමති පුද්ගලයාට, එසේ ජීවත් විය හැකි දැ යි, සිටිය හැකි දැ යි, යම් සැකයක් වේ ද, එම නීවරණය බලපායි. තව ද හත් වන ධ්‍යානය වැනි ධ්‍යානයක් නිසා යම් උද්ධච්චයක් වේ ද, ඒක බලපායි. හය වන ධ්‍යානය නිසා යම් තේජෝ ස්වභාවයක් ඇති ද, එවැනි ආලෝකය කෙරෙහි වූ සිත් ගන්නා වූ කාමච්ඡන්දයන් ඇත. ඒ කියන්නේ නීවරණ. මෙම නීවරණයන් කෙසේ පහ වන්නේ ද? රූපය, රූපය වශයෙන් දන්නා වූ දක්නා වූ පුද්ගලයාට ය. වේදනාව, වේදනාව වශයෙන් දන්නා වූ දක්නා වූ පුද්ගලයාට ය. සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, වෙන් වෙන්ව හොඳින් දන්නා වූ දක්නා වූ පුද්ගලයාට ය. එතකොට මේ පුද්ගලයා පටිච්චසමුප්පාදය මනා කොට අවබෝධ කර එම ධර්මයන් කෙරෙහි උපෙක්ඛාවෙන් සිටින පුද්ගලයෙකි.
දැන් බලන්න රූපය, රූපය වශයෙන් දන්නවා කියන්නේ, ලෝභ දෝෂ මෝහ එකේ මනාපික වූ අරමුණ, අමනාප අරමුණ, මනාපත් නැති අමනාපත් නැති අරමුණ නිසා ඇති වෙන්නේ, විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සඞ්‌ඛාර දුක්ඛතා, අන්න එහෙම නම් රූපය, රූපය වශයෙන් දන්නවා. වේදනාව, වේදනාව වශයෙන් දන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ එකේ ඒ වේදනාව ගත්තහම, සුඛ වේදනාව වුණොතින් විපරිණාම දුක්ඛතා. දුක වේදනාව වුණොතින් දුක්ඛ දුක්ඛතා. සුඛයෙකුත් දුක්ඛයකුත් නැති නම්, එතනින් ඇති වෙනවා අපිට සංස්කාර දුක්ඛතා.
දැන් ඊළඟට බලන්න එහෙම නම්, ඉතිරි තුනත්, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණත්, ඒකෙන් ම බලන්න. සංස්කාරවලට ගන්න තියෙන්නෙ මොකද්ද, උත්පාද සංඛත ලක්ඛණය, ඉපදීම ඇති කළා. එතකොට ඒක පළවෙනි එකට පේනවා. ඊළඟට, ඨිතස්සඅඤ්ඤථත්තං සංඛත ලක්ඛණා. මනෝමය කායක් තිබුණා. මනෝමය කාය ගිහිල්ලා, අර අසූචි මළ මුත්‍රා ගොඩක, ශරීරයක් බවට පත් වුණා. තිබිච්ච දේ වෙනස් වුණා, කියන සංස්කාර ස්වභාවය.
එතකොට ඊළඟට තියෙනවා වය සංඛත ලක්ඛණය. ගෙවිලා යන්නේ මොකක් ද? ශරීරයකට ගියා නම් මව් කුසකට ගියා නම්, ඒක ම ජරාවට පත් වෙනවා. ඒක ගෙවිලා යනවා. ඊළඟට බලන්න, මනෝමය කාය, පරාමාසකාය ඇතුළේ තියෙන එක භාවිතා කරලා තමයි, එයා ජීවත් වෙන්නේ. ඒක ගෙවි ගෙවී යනවා. කොහොම කළත් ගෙවි ගෙවී යනවා. රූපයට ගියත් යනවා, මේකෙත් යනවා. ඉතින් එතැන දී ලස්සනට තමන්ට පේනවා, ඒ කියන්නේ හදාගන්නා වූ සංස්කාරයක තිබෙන්නා වූ ශක්තිය ම තමයි ගෙවි ගෙවී යන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. අන්න ඒක තමයි, වය සංඛත ලක්ඛණය කියන එකේ තියෙන්නෙ. එතන හොඳට පේනවා මෝහය නිසා නේ මේ වැඩේ කරන්නේ. කොහොම කළත් මම ගෙවෙනවා නම් මට ඇති වෙන්නේ දුකක් නම්, මොකද කියන එක තමන්ට එනවා.
ඉතින් එහෙනම් දැන් විඤ්ඤාණය, විඤ්ඤාණය වශයෙන් දැනගන්නේ මොකක් ද. අවසාන line එක. විඤ්ඤාණයෙන් දැනගන්නේ මොකක් ද? විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. දැන් එහෙම නම් ඊළඟට බලන්න සඤ්ඤාව. අපි රාගයෙන් දැවෙනවා. ද්වේෂයෙන් දැවෙනවා. මෝහයෙන් දැවෙනවා. රාගජ පරිලාහ, ද්වේෂජ පරිලාහ, මෝහජ පරිලාහ කියන එක එනවා. එතකොට ඒක අර belt එක කරකවලා වෙන්නා වූ එක නේ. අන්න ඒක තමයි සඤ්ඤාව වශයෙන් ගන්නේ. මම රාගයෙන් දැවිලා අතන පිහිටවනවා කියන එක තියෙනවා. එතකොට මෝහජ පරිලාහ කියන එක හොඳට පැහැදිලි වෙනවා තමන්ට. මං කිව්වේ අතෙන්දි, අර මම මව් කුසට ගියා නම් මේකයි ගෙවිලා යන්නේ, ඒක ජරාවට පත් වෙලා. මම මනෝමය කායෙන් ගියා නම් ඇතුළේ අර සංස්කාර දුක්ඛතා වෙන්නේ, අන්න ඒක බලනවා, මම නිවනින් පිටත දෙයක් අරගෙන නේ මේක කරන්නේ. ආන්න ඒ විදිහට ඒ තුනට සම්බන්ධ කරනවා. පුදුමයි ඔළුව ඒ විදිහට ගත්තහම ඒ කියන්නේ විඤ්ඤාණය පිහිටන්නේ නෑ. අයින් කරනවා නම් අයින් කරගන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්