Date: 07/03/2016 Name: Asavakkaya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙ සංස්කාර කොටස නජොසාය තිට්ඨති, යන්න ගැඹුරට මෙනෙහි කළා. යම් සංස්කාරයක් නොඅල්ලා සිටීමට යමෙකුට ඇති ශක්තිය කිම? ඒක අල්ලගෙන ඉන්නේ නැති වෙන්න. එම සංස්කාරයෝ වැය වන බව මනා කොට දැන ගැනීමයි. අවබෝධ වීමයි. එය කෙසේ සිදු වන්නේ ද?

මේක පාරිලෙය්‍යක සූත්‍රයේ සඳහන් වන අයුරෙන් වටහා ගන්න ඕන. ඒ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඛජ්ජනීය වග්ගයේ තියෙන්නෙ, ඛන්ධ සංයුත්තයේ. මහණෙනි, කෙසේ දන්නා දක්නා මහණ හට අර්හත් මාර්ග ඥානයට අනතුරුව ආසවක්ඛය සංඛ්‍යාත අර්හත් ඵලය වේ ද යත්? මහණෙනි, මෙහි බුද්ධාදී ආර්යයන් නොදක්නා සුලු, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයෙහි අකෝවිද වූ, ආර්ය ධර්මයේ අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සුලු සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයෙහි අකෝවිද වූ, සත්පුරුෂ ධර්මයෙහි අවිනීත වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ඒ රූපය අත්තා වශයෙන් ගන්නවා. එතන පෙන්නනවා “රූපං අත්තතො සමනුපස්සති. යා ඛො පන සා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරො.” ඒක මගේ කියලා ගැනීම ම තමයි සංස්කාරය.

ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? එතන දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා, මෙතන මේ අවිද්‍යා සම්‌ඵස්‌සයෙන් උපන්නා වූ ඒ වේදනාවෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනයා හට උපන් තෘෂ්ණා ඇත්තේ ද, එයින් ඒ සංස්කාරය හටගත්තා කියලා. ඉතින් එතන පෙන්නනවා මහණෙනි මෙසේ ඒ සංස්කාරය ද අනිත්‍ය ය, සංඛත ය, ‍ ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා අනිත්‍ය ය, සංඛත ය, ප්‍රත්‍යයෙන් උපන. වේදනා අනිත්‍ය ය, සංඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ ස්පර්ශය ද අනිත්‍යයි, සංඛතයි, ප්‍රත්‍යයෙන් උපනයි. අවිද්‍යාව ද අනිත්‍යයි සංඛතයි, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි මෙසේ දක්නා දන්නා මහණ හට අර්හත් මාර්ගයට අනතුරුව අර්හත් ඵලය වේ කියලා ඒකෙ පෙන්නනවා.

එතකොට මෙතන අපිට පේනවා අර අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට එන්නා වූ එක. ආන්න ඒක තමයි අවිද්‍යා සම්‌ඵස්‌සය කියලා කියන්නේ. ඒ කියන්නේ දිට්ඨි පපඤ්චය. ඊළඟට ආපහු අපිට පේනවා, ජරා වේදනා අසම්පජාන රේඛාව. මේ රේඛාවේ යම්කිසි භ්‍රමණයක් වෙනවද, ඒක තණ්හාව. එතකොට තණ්හා පපඤ්චය කියන එක. ඊට පස්සේ ඒකෙ මගේ යැයි යමක් ගැනීමක් ඇත්ද, මේක තමයි සංස්කාරය. “රූපං අත්තතො සමනුපස්සති.”

ඉතින් අපි ඕක ඉගෙන ගත්ත නේ 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනාවේ දී මගේ යැයි ගැනීම හතර ආකාරයි කියලා. “රූපං අත්තතො සමනුපස්සති,” රූපය තමා කියලා ගන්නවා form as self කියලා. ඊළඟට “රූපවන්තං වා අත්තානං” තමා තුළ රූපය ඇත කියලා, ඉතින් ඒක තමයි ලොකු ම එක, අර භය අගතිය චේතනාව දක්වා අපි ලකුණු කරන. එතකොට ඊළඟට තුන් වෙනි එකට එනවා “අත්තනි වා රූපං” රූපය අත්තා තුළ form as in the self කියලා, අර අහංකාරය තුළ රූප සෙවීම, අහංකාර වෙලා ගැළපෙන සිංදුව හොයන්න යනවා කිව්වේ. ඊළඟට ආපහු හතර වෙනි කාරණයට “රූපස්මිං වා අත්තානං” අත්තා රූපය තුළ, අර වේදනාව අත්තා කියලා අරගෙන මමිංකාරයත් එක්ක බලපු එක. ඉතින් මේකෙ මේ අවබෝධය තමයි මේ පෙන්වන්නෙ.

ඒක තමයි මං කරපු භාවනාව.