උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ, විඤ්ඤාණය නිසා සඤ්ඤාවට වන බලපෑම. මේක මොන ආකාරයට ද මෙනෙහි කරන්න ඕන? අර 06/03/2016 සඤ්ඤා භාවනාවේ විඤ්ඤාණ කොටස විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා ලෙස විමසිය යුතු බව ඉගෙන ගත්තා. යම් විඤ්ඤාණයක් වේ ද, එමගින් යම් දැනගැනීමක් වේ ද, එය ලෝභ දෝස මෝහ පාරවල් තුන ම මගින් වන ධර්ම කොටස් පිළිබඳ හැඟීම් ඇතුළත් වෙනවා. යම් ජල පහරක් කන්දක් මුදුනේ සිට ගලාගෙන එන්නේ ද, උඩ තිබුණා වූ රොඩු මඩ යම් සේ රැගෙන එන්නේ ද, මෙය එසේ ය. සඤ්ඤාව පරිලාහ ලෙස මෙනෙහි කරන්නේ, ඊයේ භාවනාවේ දී ඉගෙන ගත් ධර්මය හා සැසඳීම සිදු වුණා. ඊයේ අපි දැනගත්තා අර ජරා වේදනා අසම්පජාන රේඛාව. ඊළඟට අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක, ඒක තමයි අවිද්‍යා සම්‌ඵස්‌ස, දිට්ඨි පපඤ්චය කියන එක. ඒ වගේ ම ජරා වේදනා අසම්පජාන රේඛාවේ භ්‍රමණයක් වෙනවද ඒක තණ්හාව තණ්හා පපඤ්චය.
එහෙම නම් අපි පරිලාහ වීමෙන් ලෝභ දෝස මෝහ භාවනාවේ දී belt තුනක් කරකැවීම කියන එක සිදු කරනවා. රාගයෙන් දැවෙනවා. ද්වේෂයෙන් දැවෙනවා. මෝහයෙන් දැවෙනවා කියලා. රාගයෙන් දැවුණේ රූප ස්පර්ශය කියන එක හොයනවා. ද්වේෂයෙන් දැවුණේ වේදනා ස්පර්ශය කියන එක හොයනවා. මෝහයෙන් දැවුණේ රූප වේදනා සහ එමගින් ඇති වූ ස්පර්ශයන් සොයනවා. මෙම තුන් ස්පර්ශයන්ගෙන් ම ඇති වන්නේ දුක්ඛතාවයන් තුනක් කියන එක නොදැන ඒවා සොයනවා. එනම් අවිද්‍යා සම්‌ඵස්‌සය දුකක් බව නොදැන එවන් ධර්මයන් ස්පර්ශ කිරීම විඤ්ඤාණ ධාරාව මගින් සිදු කරනු ලබනවා.
මෙතන දී මට මතක් වුණා ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාව. “යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ඵස්ස පච්චයා” ඉතින් ඒ ගාථාව කෙනෙකුට බලනවා නම් ඒකෙ පෙන්නනවා යම්කිසි දුකක් ඇති වෙනවා නම්, ඒක ඇති වෙන්නේ මේ ස්පර්ශය නිසා. “ඵස්සස්ස ත්වෙව අසෙස විරාග නිරොධො, නත්ථි දුක්ඛස්ස සම්භවොති.” ස්පර්ශයාගේ ම අසෙස විරාග නිරෝධයෙන් දුක්‌ඛෙ සම්භවයක් නැත කියන එක ඒ ගාථාවේ ඒ විදිහට පෙන්නනවා. අර පරිඤ්ඤා විසින් පිරිසිදු ලෙස දැනගෙන ඒකෙන් අයින් වෙනවා නම් පිරිනිවන් පානවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන එක. ඉතින් මේක මෙනෙහි වීමත් සමඟ ම ඒ නිරෝධය කියන එක ඇති වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.