ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාව තුළ දී මෙනෙහි කළේ විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා ස්පර්ශ වී ඇති වන සඤ්ඤාව ගැනයි. මෙය රූපය ස්පර්ශ වීමෙන් වන ධාරාව ගැලීමට වඩා වෙනස් ය. එනම් රොඩු මඩ සහිත ජල පහර ගලක වදින්නේ නම් වන්නා වූ ක්‍රියාවලියක් මෙනි. ගලක් යටින් එන උල්පතකින් වන ක්‍රියාවලියත්, මෙයත් අතර වෙනසක් ඇත.
මෙහි දී විඤ්ඤාණය නිසා වන පරිලාහය මගින් වන ස්පර්ශයයි විමසුවේ. එහි දී හොඳින් වැටහුණා අවිද්‍යා සම්‌ඵස්‌ස නිසා වන ක්‍රියාවලියක් වශයෙන්. එසේ නම් එය පටිච්චසමුප්පාද ධර්මය ලෙස ම පේනවා. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, අපි දැනගත්තා අර අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට එතනදි අපිට පේනවා අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො. එහෙම නම් අපිට මේ විඤ්ඤාණයේ ස්පර්ශයයි කියන එක තමයි අපිට මෙතන පෙන්වන්නෙ. විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා වන ස්පර්ශය. විඤ්ඤාණ ධාරාව කුමක් හරහා ගලන්නේ ද?
එය දස අකුසල ධර්මයන් හරහා ගලයි. එසේ නම් කුම්මග්ග පටිසේවනය වේ. මේක හොඳින් වැටහුණා. යමෙක් පෙර යම් දෙයක් අසා දැනගෙන, විඤ්ඤාණ ධාරාව ගැලීමට සැලැස්වූවා ද, භ්‍රමණය කළා ද, එය එම පාර දිගේ එන විඤ්ඤාණ ධාරාව මගින් වන බලපෑම අධික ය. තවදුරටත් විමසනවා නම්, මගේ දුව යැයි ගත්තා වූ දේ නිසා ඇති වූ බලපෑම හරහා ජනනය කරන ලද විඤ්ඤාණ ධාරාව එම දුවට යම් කරදරයක් වූවා ද, එමගින් වන්නා වූ ස්පර්ශයෝ අධික ලෙස බලපායි. මෙසේ කුම්මග්ග පටිසේවනය මෙනෙහි කරන්නේ ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාව හොඳින් වැටහුණා.
අපි ඊයේ ඉගෙන ගත්ත නේ ගාථාවක් ද්වයතානුපස්සනා සූත්‍රයේ මේ ස්පර්ශය නිසා තමයි මේ දුක්ඛය ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ ගාථාවේ තියෙනවා “තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං, කුම්මග්ග පටිපන්නා නං, ආරා සංයොජනක්ඛයා” කියලා. ඒ කියන්නේ “ස්පර්ශයෙන් මැඩී ගිය තෘෂ්ණා සංඛ්‍යාත භව ශ්‍රෝතය අනුව යන කුමගට පිළිපන් ඔහුට සංයෝජන ක්ෂය දුරෙහි වේ” කියලා පෙන්නනවා.
ඊළඟට පෙන්නනවා, “යෙ ච ඵස්ස පරිඤ්ඤාය, අඤ්ඤාය උපසමය රතා, තේ වන් ඵස්සාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා” කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි ගාථාවෙන් පෙන්නනවා දුස්සීලභාවය නිසා වූ කුම්මග්ග පටිසේවනය නිසා භව සෝතය කියන එක ඇති වෙනවා. විඤ්ඤාණ ධාරාව අර දුස්සීලභාවය හරහා තමයි ගලාගෙන එන්නේ. ඒ පුද්ගලයාට සංයෝජන නැති කිරීම දුරෙහි වෙනවා.
ඊළඟට දෙවන ගාථාවෙන් පෙන්නන්නේ ත්‍රිවිධ පරිඤ්ඤා විසින් ස්පර්ශය පිරිසිඳ දැන, නිර්වාණය කැමති වන්නේ නම් ස්පර්ශාභිසමයෙන් ඒ කියන්නේ by breaking through contact කියන එකයි ඔය කියන්නේ පිරිනිවන් පානවා කියලා. ඉතින් මේ පරිඤ්ඤා කියන එක මහා නිද්දේසයේ පැහැදිලි කරලා තියනව නේ සඤ්ඤා පරිඤ්ඤාව, සඤ්ඤාව, ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාණ පරිඤ්ඤා, කියලා තුන් ආකාරයකට.
ඥාත පරිඤ්ඤාවේ පෙන්නනවා මේවා මේ කාම සඤ්ඤා, ව්‍යාපාද, විහිංසා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා, සඤ්ඤා. මේක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සඤ්ඤා කියලා සඤ්ඤාව දැනගන්නවා. මේක තමයි ඥාත පරිඤ්ඤාව.
ඊළඟට තීරණ පරිඤ්ඤාවෙදි පෙන්නනවා මේ සඤ්ඤාව ප්‍රකට කරගෙන දැනගන්නවා. අනිත්‍ය වශයෙන් දැනගන්නවා, දුක්ඛ වශයෙන් අනිච්චතො දුක්ඛතො රොගතො ඒ ආදී වශයෙන් දැනගන්නවා. එතකොට මේ ආදීනවය මේ නිස්සරණය මේ තීරණ පරිඤ්ඤා.
ඊළඟට පෙන්නනවා ප්‍රහාණ පරිඤ්ඤා කවරක් ද? යම්කිසි පුද්ගලයෙක් මේවා ප්‍රකට කොට දැනගන්නවා තීරණය කොට සඤ්ඤාවේ ඡන්දරාගය කියන එක දුරු කරනවා, බැහැර කරනවා, අභාවයට පමුණනවා, කියලා මේ විදිහට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඒ පරිඤ්ඤා තුන.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.