ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අද භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වෙනවා. එතකොට අපි ඒ ජරාවට හරායති කියලා ගන්නවා. මැරිලා ඉපදෙන්න කැමති වෙනවා නම් නන්දිය, එහෙම නම් ඉපදුණා නම් අපිට නැවතත් ජරාව කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් අපි පීඩාවට පත් වෙනවා. එහෙනම් ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අර අත්තා යැයි ගැනීමෙන් පස්සේ. එතකොට ඒකෙ අත්ත සඤ්ඤාව නිසා සැකසෙන්නා වූ විඤ්ඤාණය මගින් අර පදුට්ඨමනසඞ්කප්පය. ඒක දික් කළහම අපි ජරාව දක්වා පැමිණෙනවා. එහෙම නම් ජරාවට ජිගුච්ඡති. එතකොට ඒ විදිහට තමන්ගේ මනස පත් වුණහම ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා, මේක ඊයේ මම කරපු භාවනාවත් එක්ක සම්බන්ධ වුණා.
ඒ විඤ්ඤාණයෙන් මේක දැනගන්නේ ඒක දුක්ඛතා තුනක් හැටියට. ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති නම් සියලු දුක්ඛයන් කෙරෙහි ම කලකිරෙනවා. ඒ කියන්නේ රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන කෙරෙහි කලකිරීම. නිබ්බින්දති, කියන එක ඇති වෙනවා. කොහොම ද ඒක වෙන්නේ? අපි ගත්තා ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා. එහෙම නම් අපි දන්නවා රූපය කියන එක එතන ජරාවට පත් වීම තියෙනවා, එතන තියෙනවා විපරිණාම දුක්ඛතාවය කියන එක, ඊළඟට ඔය විපරිණාම දුක්ඛතාවය කියන එක අපි දන්නවා ඔය සතර ආහාර දුක්ඛයෙ දී අපි ඉගෙන ගන්නවා, ඒක තමයි අපිට ස්පර්ශ වෙන්නේ, ඒක ස්පර්ශ වෙලා අපිට ඇති වන්නේ දුක්ඛ දුක්ඛතාවයක් කියන එක.
ඉතින් ඊළඟට මේක සඳහා අපි යම්කිසි සංස්කාරයක් කරනවා ද ඒ සංස්කාරයේ තියෙන්නෙ සංස්කාර දුක්ඛතා කියන එක, එතකොට එහෙම නම් මේ විදිහට මුළු එක ම ගැන කලකිරුණහම ඒකෙ ඇලෙන්නේ නෑ. නොඇලේ කියන එක තියෙනවා. විරජ්ජති. නැත්නම් dispassion කියලත් කියනවා. ඇලෙන්නේ නැත්නම් විමුක්තිය කියන එක අපිට ඇති වෙනවා.
එතකොට මෙතන දී අපිට පේනවා මොකකට ද අපි කලකිරෙන්නේ? රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන ඒවට. මොහොකට ද අපි ඇලෙන්නේ නැත්තෙ? රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණවලට. මොකකින් ද අපි මිදෙන්නේ? රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණවලින්. මොන ආකාරයට ද අපි මිදෙන්නේ? ඊයේ භාවනාවේ අර්ථයෙන්. ඒ කියන්නේ අද මේ මොහොතේ ඇති වන්නා වූ විමුක්තියවත් එම අයුරින් මින් මතු සෑදිය හැකි යැයි නොසිතයි. ජරාව කියන එක තේරෙනවා කියන්නේ ඒ විමුක්තියවත් ඒ විදිහට ආපසු හදන්න පුළුවන් වෙයි කියලා එයා හිතන්නේ නැහැ. එතකොට මේ විදිහට මේ අනිත්‍යභාවය මනා කොට දැනගන්නවා.
ඒක තමයි මං කරපු භාවනාව.