Date: 28/04/2016 Name: සුතමයිපඤ්ඤා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අපි ඊයේ පෙරේදා බලපු භාවනාවල, ඒකෙ පෙන්නුවේ අලෝභ කුසල මූලයක් වේ ද එය ශ්‍රැතමය ප්‍රඥාව පුරලනවා කියලා. ඒ ශ්‍රැතමය ප්‍රඥාව පරිපූර්ණය වෙලා තමයි සවිතක්ක සවිචාර සමාධිය පුරන්නේ. ඉතින් අද භාවනාවේ දී මෙනෙහි කළේ ශ්‍රැතමය ප්‍රඥාව. එතකොට ශ්‍රැතමය ප්‍රඥාව යනු කුමක් ද? එහි විශේෂත්වය කිම? යම් ධර්මයක් තථාගතයන් වහන්සේගෙන් හෝ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අසා දැනගන්නේ එය මෙනෙහි කරයි. කුමන ධර්මයක් ද? දුක බව අසා දැනගනී. දුක්ඛ සමුදය බව අසා දැනගනී. දුක්ඛ නිරෝධය බව අසා දැනගනී. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව බව අසා දැනගනී. මෙහි සමුදය සහ අස්තංගමය ඇතුළත් ය. යම් සමුදය දහමක් වේ ද, එය මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛය ම ය. මේ බව හොඳින් දැනගන්නේ, වටහා ගන්නේ, එය ශ්‍රැතමය ඥාන කොටසට ඇතුළත් වේ. එහි යම් සිතීමක් වේ ද, එය චින්තාමය ප්‍රඥාව නම් වේ. එහි යම් වැඩිදියුණු කිරීමක් වේ ද, භාවනාමය ප්‍රඥාව නම් වේ. කෙසේ සිතීම ද? කෙසේ වැඩිදියුණු කිරීම ද? දුක්ඛ නිරෝධය ගැන සිතීම, චින්තාමය ප්‍රඥාවට ඇතුළත් වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පුනපුනා වැඩීම, භාවනාමය ප්‍රඥාවට ඇතුළත් වේ.

මේ භාවනාව ආරම්භයේ දී ම, රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණවල සමුදය සහ අස්තංගමය හොඳින් දන්නේ, පුනපුනා ඇති වන්නේ දුක බව දන්නේ, යම් ලෝකයක් වේ ද, අපායේ සිට බ්‍රහ්ම ලෝකය දක්වා වූ ඒ සෑම ලෝකයක ම ඉපදීම දුක බව දන්නේ, වැටහෙන්නේ, මේ තාක් මෙම වැඩසටහන්වලින් සියලු ගුරුවරයන් කළේ මේ අරි අට මඟ භාවනාවෙන් පටන්ගෙන පෙන්වා දුන්නේ මෙය නේ ද යැයි වැටහී අධික ප්‍රීතියක් ද ඇති වී ඉන් අනතුරුව නිරෝධය වීම සිදු විය.

ඊයේ පෙරේදා භාවනාවන් සමඟ සම්බන්ධ කර, කිරීමට උත්සාහ ගන්නේ සවිතක්ක සවිචාර සමාධියට පැමිණෙන්නේ ලෝභ පාරේ ස්පර්ශය, සුඛ වේදනීය වූ ස්පර්ශය නැති වී අනාශ්‍රව විය. නිරෝධය ඇති විය. එසේ අනෙකුත් කාරණා ද සිහි කළා. සමථ නිමිත්තෙන් පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සම වදින්නේ ලෝභ ද්වේෂ මෝහ බව ද වැටහෙනවා. මේක නිසා තමයි ඔය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ දී දෙවන විරිය ඇතුළත් වී නැත්තේ. අනිත් විරියන් තුන තමයි එතන තියෙන්නෙ. එය පහ කරන විරිය කලින් සිදු වූ නිසයි ඒක තියෙන්නෙ.

ඒක තමයි මං කරපු භාවනාව. බොහොම හොඳට භාවනාව කරන්න පුළුවන්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonGreed/NonGreed-06.jpg


NonGreed/NonGreed-07.jpg