ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා, ඒ පූජාවෙන් පස්සේ. ඒ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ මෙත්තාව. අපි දන්නවා අලෝභ කුසල මූල පථයේ තුන, පහ, හත යන ධර්මයන්. අන්න ඒ කාරණා ටික මම සිහි කළා. තුන් වෙනි එකට තියෙන්නේ අධිචිත්ත ශික්ෂාව කියන එක. ඒකේ අපි දන්නවා, ඒකේ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළට කාවදිනවා කියලා. පස් වෙනි කාරණයට තියෙන්නේ නෙක්ඛම්ම විතක්කය, අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය කියන එක. හත් වෙනි කාරණයට තියෙන්නේ නෙක්ඛම්ම පවිචාරය, සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කිරීම කියන එක.
එතකොට අධිචිත්ත ශික්ෂාව තුළ අඩු ම තරමින් මෙත්තා අප්‍රමාණය අඩංගුයි. මොකද සවිතක්ක සවිචාර සමාධිය තුළ අර සතර විහරණයන්ගෙන් අඩු වශයෙන් එක ම ධර්මයක් හරි තියෙනවා. අර දිබ්බ විහාරයෙන් එකයි, බ්‍රහ්ම විහාරයෙන් එකයි, අරිය විහාරයෙන් එකයි, ඒ වගේ ම ආනෙඤ්ජ විහාරයෙන් එකයි කියන එක තියෙනවා. ඒ කියන්නේ අඩු වශයෙන් මෙත්තාවෙන් අප්‍රමාණය කියන එක මේකෙ අඩංගුයි. එතකොට එහෙම නම් දැන් ඊළඟට කතා කරන නෙක්ඛම්ම විතක්කය මගින් යම්කිසි අකුසල ධර්මයක් ප්‍රහාණය කර නොමැති නම්, ඒක පහ කරනවා කියන එක තියෙනවා.
එතකොට මෙත්තාවට අමතරව තවමත් පහ කිරීමට ඉතිරිව ඇත්තේ කුමන අකුසලයක් ද? මෙත්තාවෙන් යමක් අයින් කළා ද දැන් මොකක් ද ඉතිරි වෙලා තියෙන්නේ? ලෝභය ද? ද්වේෂය ද? මෝහය ද? මෝහය නිසා වන ලෝභය බව පැවසිය යුතුයි. මේ සංස්කාර විෂයයෙහි ලා ප්‍රධාන වූ ධර්මයෝ ය. පරුෂා වාචා, පිසුණා වාචා නිසා ඇති වන්නා වූ ඒ මෝහ ධර්මයන්ගේ බලපෑම ය.
මෙතනට සම්බන්ධ වෙනවා, සම්මා වාචා diagram එක. සම්මා වාචා diagram එකේ පෙන්නනවා පිසුණා වාචා නිසා මෝහය. වෙන් කිරීම නිසා හොඳ යැයි සිතනවා මෝහයෙන්. දැන් බලන්න වචන කියන්න ම ඕන නෑ, අර පෙන්නුවේ, අර භික්ෂූන් වහන්සේලා දෙනමක් වෙන් කරා කියලා, අර දේවතාවා. ද්වේෂයට නොවේ, මෝහයක් නේ ද? වෙන් කරලා බලන්න ඕනයි කියලා. එතකොට එහි යම් නිත්‍යභාවයක් වේ ද, අපි දන්නවා දැන් මෝහය ආවා නම් නිත්‍යභාවයක් කියන එක තියෙනවා, ඒ නිත්‍යභාවයක් වේ ද එය මෙත්තාවට හානියක් වෙනවා. මෙය ඉවත් විය යුතුයි. මෙත්තාව තුළ අපි දන්නවා අර ජරා වෙනවා කියන කතාව දැකලයි මෙත්තාව එහෙම කරන්නේ, රූපයේ හානිය. දැන් මෙයා හිතන්නේ ජරා නොවෙනවා කියලා ඔය නිත්‍යභාවය ආවාට පස්සේ. එතකොට නෙක්ඛම්ම පවිචාරය මගින් සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කරන්නේ, මෙම නිත්‍යභාවය ඉවත් වෙන්නේ නම් මෙත්තා චෙතො විමුක්තිය නොසැල් වී පවතිනවා.
ඉතින් මේ භාවනාවට මට නම් හොඳ උදාහරණයක් හම්බවුණා. භාවනාව පටන් ගත්ත ගමන් බල්ලෙක් බිරුවා. එතකොට දැන් මම කල්පනා කළා, මේ බල්ලා වුණත් බුරන්නේ මේකට හොඳට කන්න දීලා, කවුරු හරි අතපත ගාලා සාත්තු සප්පායම් කරලා ඉන්නවා නම් ඒකා ඔහේ ඉන්නවා, බුරන්නවත් යන්නේ නෑ. හුරතලේට වාගෙ ඉන්නවා. ඒකාටත් දුකක් හින්දා තමයි බුරන්නේ. බල්ලාත් ඉන්නෙ දුකේ. මෙතන ඉන්න අයත් ඉන්නෙ දුකේ, හැමෝම ඉන්නේ දුකේ කියන එක එනවා.
දැන් ඕකේ මෙත්තාව පවත්වාගන ගියාට, අපිට පේනවා, දැන් අපි මෙත්තාවෙන් අප්‍රමාණයට යනකොට අපි කියනවා, මේ බල්ලාත් වෙනසක් නෑ, මෙතන ඉන්න පුද්ගලයකුත් අතර වෙනසක් නෑ, අපි කියමු දයානන්ද කියලා. ඒ දෙදෙනා අතර වෙනසක් නෑ කියන එක තියෙනවා, මෙත්තාවෙන් අප්‍රමාණය ගත්තහම, දෙන්නා ම එකයි. නමුත් අපේ අතර තියෙනවා නේ ද සිතේ වෙන් කිරීමක්. ඒ කියන්නේ මෙතන ඉන්න පුද්ගලයෙක් හොඳයි කියලා අර බල්ලාට වැඩිය. දැන් බලන්න මෙතන ඉන්න තව පුද්ගලයෙක් හොඳයි කියලා හිතුවා, හැබැයි එයා මැරෙනවා, බල්ලා ඉන්නවා. එයා මැරිලා බල්ලා ඉන්නව නම් අපි කියනවා බල්ලා ඉන්න එක හොඳයි කියලා. තේරුණා ද මම මේ කියන එක.
එතකොට එහෙනම් මොකක් ද මෙතන වෙලා තියෙන්නේ? මෙතන ඉන්න පුද්ගලයා වැඩි කාලයක් ජීවත් වෙනවා, ආයුෂයක් තියෙනවා, ඵලයක් ප්‍රයෝජනයක් තියෙනවා, ආදි වශයෙන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඕකේ ඇතුළේ තියෙන්නේ දැන් මේ බල්ලයි මෙතන ඉන්න පුද්ගලයයි වෙන් කරන්නේ මොකට ද? අර පිසුණා වාචා වගේ වෙන් කිරිල්ලක් නේ. වෙන් කරන්නේ මෙයාගේ නිත්‍යභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අදහසකින් තමයි අපේ වෙන් කිරීම කියන එක තියෙන්නේ.
දැන් අපි දන්නවා නම් කිසිම භවයක ඉන්න බෑ, තිරිසන් ලෝකේ ජීවත් වෙලා ඉන්නත් බෑ. මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්නත් බෑ, සමාපත්තියක් අරගෙන ජීවත් වෙලා ඉන්නත් බෑ. පේනවා ද අන්තිමට සමාපත්තිය නේ අතහරින්නේ. එතකොට අන්න ඒක තේරුම් ගත්තා නම්, ඒ කියන්නේ නිත්‍යභාවය ගියා නම්, අන්න තමන්ට මෙත්තාව කියන එක අන්න පවතිනවා. අපි මේ discriminate කරන්නේ, මේ අනිත් පුද්ගලයාගේ තියෙන නිත්‍යභාවය නිසා. බ්‍රහ්මයා හොඳයි මනුස්සයාට වැඩිය. අන්න ඒ වාගේ. අපි දන්නවා මේ හැමෝම ජීවත් වෙන්නේ නෑ, මැරිලා යනවා. නමුත් අපි අර අගය දීලා වෙන් කිරීමක් කියන එක කරනවා.
එතකොට එහෙම කිරීමක් නැත්නම්, ඒ කියන්නේ, මේ ඔක්කෝම සකස් කරපු අය. අපි අර මුලින් ගත්තා වූ දුක්ඛයේ අර්ථය නිත්‍යභාවය ආවොතින් නැසෙනවා, දුක්ඛයි කියලා මෙත්තාව පවත්වන එක. එතකොට කොතනකවත් ඉන්න බැරි ය කියන එක ගත්තහම, ඉතින් මේ සමාපත්ති ධර්මය නේ මෙතන පෙන්නන්නේ. සමාපත්තිය නිසා මෙහෙම ඉන්න පුළුවන්, අරූප ධ්‍යානය වේවා, ඒ විදිහට ඒ සමාපත්තියකින් ඉන්න පුළුවන් කියලා හිතනවා කියන එක.
ඒක අයින් කළා ම මෙත්තා චෙතො විමුක්තිය, තමන්ට මුලින් දැනෙනවා වම් පැත්තේ කම්මුල සුඛයි කියලා, අර සුභ කියන විමුක්තිය වාගේ, ඊළඟට දකුණු කම්මුල සුඛයට පත් වෙනවා. ඊළඟට නළල සුඛයි, අනුපිළිවෙළින් සිද්ධ වෙනවා. මුලින් වම, එතකොට ඒ නළලේ තවමත් පත්තු වෙනවා අර, ඒ කියන්නේ තමන්ගේ මගඵල චිත්තයන් නැංවිලා තියෙන ඒවා, ඊට පස්සේ ඒ තුන ම සුඛ වෙනවා, ඒ විදිහට ගිහින් මෙත්තා චෙතො විමුක්තිය කියන එක ආවා ම.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්