ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ ඉද්ධි, ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාද. අන්න ඒ ඉද්ධිපාද අතුරෙන් යම් ඉද්ධියක් වැඩීමට අවශ්‍ය යැයි සිතන්නේ, ඒ සඳහා භාවිතා කළ යුතු වන්නේ පසුගිය දිනවල සඳහන් කළ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා චෙතො විමුක්තීන්. උදාහරණ වශයෙන් විමංසා ඉද්ධිපාදය වඩන්නකු උපෙක්ඛා චෙතො විමුක්තිය මනා කොට වඩන්නේ, බැසගන්නේ, ඉතා පහසුවෙන් විමංසා ඉද්ධිපාදය වැඩිය හැකි වන්නේ ය. කුමක් නිසා ද? සිතේ නොසෙල්වෙන ස්වභාවය උපෙක්ඛා චෙතො විමුක්තිය මගින් ම ඇති වී ඇත්තේ ය. ඒ නිසා ය.
විමංසා ඉද්ධිපාදය තුළ කුමන ධර්මයෝ අඩංගු ද? එතකොට ඔය 09/04/2015 සතර ඉද්ධිපාද භාවනාවක් අපි ඉගෙන ගත්තා. ඒ භාවනාවෙදි විමංසා ඉද්ධිපාදය මගින් අපි කාරණා තුනක් නැති කරනවා කියලා කිව්වා. ඒකෙදි ඒ පළවෙනි කාරණාව තමයි ස්පර්ශය ඉඳන් සඤ්ඤාව දක්වා එන එක, අපි ඕක a කියලා ලකුණු කරගත්තා. ඊළඟට b කියලා ලකුණු කරගත්තා විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට. C කියලා ලකුණු කරගත්තා වේදනාවේ ඉඳන් චේතනාවට. දැන් ඉතින් ඔය a, b, c ධර්මයන් කියන ඒවා පහ කරනවා කියන එකයි අපි ඒකෙදි ඉගෙන ගත්තේ.
එතකොට ඒකේ b වල තියෙන්නේ, අපි පෙන්නුවා ඒ විඤ්ඤාණයේ පැවතීම නිසා යම් අවිද්‍යාවක් වී ද, අත්තවාද උපාදානය පහ කරමින්, අවිද්‍යා යෝගය මඟ හරිමින්, ඉදංසච්චය ගලවා දමනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතිරිව ඇති c පාර, ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යන එක, ධම්මමච්ඡරිය ඉවත් කරනවා. එතකොට අර B කියන peak point එක bell shaped curve එකේ, best එක කියන එක නොසාදනවා කියලා අපි ඉගෙන ගත්තා.
උපෙක්ඛා චෙතො විමුක්තිය මගින් කරන්නෙත් මෙය ම නේ ද කියලා වැටහෙනවා. අර දුක්ඛ table එකේ අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටින්නේ ද? මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? අන්න ඒක මගින් a සහ b ගලවා දැමීම සිදු වෙනවා කියන එක තේරෙනවා.
ඉතිරි වී ඇති නන්දි වීම නොවටින්නේ නම්, ඒ කියන්නේ මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. මෙය c, ධම්මමච්ඡරිය ඉවත් වීමෙන් සිදු වෙනවා. එතකොට අර B කියන point එක නොසාදනවා කියන එක.
ධම්මමච්ඡරිය නිසා පෙර යම් විඤ්ඤාණයක් සෑදුවා ද, එය සෑදීමට ක්‍රමයක් නැති බව පෙන්වා දෙන්නේ, ඇති වන්නේ දුක බව දැන, නොසෑදීම සුඛ වශයෙන් අවබෝධ ඥානය මගින් ම පෙන්වා දෙනු ලබනවා.
එතකොට, මේ අවස්ථාව වෙනකොට ඉදංසච්චය ගලවලා දානවා කියන එක එහෙම, හොඳට පැහැදිලියි. ඒ මොකද අර සුඛය, කුණු අඹ ගෙඩිය කාලා, ඒ සුඛය, මුසාව නේ පරාමාස වෙලා තියෙන්නේ. දැන් උපෙක්ඛා නිමිත්තේදි කිව්වා නේ පාණාතිපාතය වගේ ඒවා නැති එක තමයි හොඳ. ඒවා කළා නම්, ඉස්සර හොඳයි කියලා හිතුවා, අත හැරියා නම් සුඛයි, ඒක තේරුම් ගත්තා, එහෙම නම්, මුසාවාද, පරුෂා වාචා ඉදංසච්චයට ගිහිල්ලා තියෙන්නේ මේක සුඛයි කියලා නේ. දැන් කියනවා ඒක සුඛ නෑ දුක. එහෙනම් ඉදංසච්චය ගැලවෙනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා. දැන් ඒ විදිහට කෙනෙක් හිතන්න ඕන. අර දෙකත් එක්ක සම්බන්ධ කරලා.
ඒ වුණත් උපෙක්ඛා චෙතො විමුක්තියත් විමංසා ඉද්ධිපාදයත් අතර වෙනසක් තිබිය යුතුයි. මේ දෙක ම එක ම වෙන්නේ නැහැ. එය කුමක් ද? විමංසා ඉද්ධිපාදයට ආශ්‍රව නැසීම ඇතුළත් විය යුතු ම නොවේ.
උපෙක්ඛා චෙතො විමුක්තිය අනාශ්‍රව වී පවතී. මෙය ආශ්‍රව නසන ලද අයකුගේ හෝ, ආශ්‍රව නොනැසුවත් අනාශ්‍රව වී සිටින මොහොතක, චිත්තයේ ස්වභාවය වන්නේ ය.
විමංසා ඉද්ධිපාදයේ දී අර B කියන point එක, best එක, bell shaped curve එකේ B කියන එක නොසෑදුවත්, A සෑදීම නිසා වන බලපෑම පැවතිය හැකි ය. එතකොට, බලන්න ඔය අන්තිමට පෙන්වූයේ අර c කියන එක යනවා, ධම්මමච්ඡරියේ කතාව. ඒකට බලන්න ජාතියේ ඉඳන් තියෙන බලපෑම. ජාතියේ ඉඳන් එන රේඛාව නේ වේදනාව හරහා ධම්මමච්ඡරියෙන් අපිට යනවා කියන එක තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේක නන්දි වීම කියන එක වටින්නේ නැත්නම්, මැරිලා ඉපදෙන්න වටින්නැත්නම් එහෙනම්, දුක වන්නේ ද සුඛ වන්නේ ද? අන්න ඒකත් එක්ක බලන්න මේ කෑල්ල.
දැන් තමන් උපෙක්ඛාවට තමන් ඇවිල්ලා ඉන්නකොට තමන්ට පේනවා නේ, අධිචිත්ත ශික්ෂාව. එතකොට, ඒ අධිචිත්ත ශික්ෂාව කියන එක තුළ සම්මා ඥානය කියන එක තියෙනවා. එතකොට, ඔන්න ඕකත් එක්ක කෙනෙක් සසඳලා බලන්න ඕන, ඔය කතාව. ඒ සම්මා ඥානය මගින් ඇති වෙන්නා වූ එක. ඒ කියන්නේ හැම භවයක ම ජීවත් වෙලා, ඉඳලා පුරුද්දක් තිබිලා, දැන් එයාට පුළුවන්කම තියෙනවා මේ හැම එකට ම යන්න.
එතකොට දැන් මම ආකාසානඤ්චායතනය, අරවා මේවා ඔක්කොට ම යන්න පුළුවන්. එතකොට ඒකෙ ඉඳලා තමන්, කෙනෙක් කල්පනා කරනවා, මේක වටිනවා ද, ඒකේ පෙන්නනවා ඒක වටින්නේ නැතෙයි කියන එක. එතකොට, ඒකත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕන මේ කෑල්ල. ඉතින් ඕක තමන් ම හිතන එක තමයි හුඟක් ම හොඳ.
ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් කලින් කළා ද, ඒකේ බලපෑම තියෙනවා. පෙළක් වෙලාවට වචන එන්නේ, පාණාතිපාතය කියලා කිව්වා ම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වා ම, ඕගොල්ලන්ට දන්නෙම නැතිව අදින්නාදානා කියන එක ඊළඟට එනවා. පුරුද්ද නිසා නේ ද? අර පෙළක් වෙලාවට වරදින්නේ. අන්න ඒ වගේ. දැන් හොඳ පැත්තට පුරුදු කරලා තියෙන්නේ. අර පුරුද්දෙන් එන්නා වූ එක තියෙනවා විඤ්ඤාණ ධාරාවේ. කලින් භවයේ ජාතියේ ජීවත් වීම නිසා. ඉතින් ඒක හොඳට හිතලා බලන්න.
ඒක තමයි මං කරපු භාවනාව.