ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉද්ධිපාද ධර්මයන් අතරින් එකක් වැඩීම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා චෙතො විමුක්තීන් වඩන ලද අයකුට පහසු බව අපි ඊයේ භාවනාවෙදි පෙන්වා දුන්නා. අද භාවනාවෙදි විමසා බැලුවේ යම් චෙතො විමුක්තියක් ඇති අයකුටත් මෙම කාරණය සාධාරණව පවතිනවා ද යන්නයි. එනම් උදාහරණ වශයෙන් සුඤ්ඤතා චෙතො විමුක්තිය වඩා ඇති අයකු කුමන ඉද්ධිපාදයක් වැඩිය යුතු ද? කෙසේ වැඩිය යුතු ද?
සුඤ්ඤතා චෙතො විමුක්තිය වඩන ලද අයකුට සියලු ඉද්ධිපාදයෝ වැඩිය හැකි වන්නාහ. එය කෙසේ ද? යම් සුඤ්ඤතා චෙතො විමුක්තියක් වී ද, එය මගින් ක්ලේශයන්ගේ ප්රහාණය සිදු වන බැවිනි. ඊර්ෂ්‍යාව වැනි ක්ලේශයන් ප්රහාණය වන්නේ කරුණා චෙතො විමුක්තිය ඇති වී චිත්ත ඉද්ධිපාදය වැඩිය හැකි වන්නේ ය. මක්ඛය වැනි ක්ලේශයන් ප්රහාණය වන්නේ මුදිතා චෙතො විමුක්තිය ඇති වී විරිය ඉද්ධිපාදය වැඩිය හැකි වන්නේ ය. පලාසය වැනි ක්ලේශයන් ප්රහාණය වන්නේ උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වන්නේ විමංසා ඉද්ධිපාදය වැඩිය හැකි වන්නේ ය. මච්ඡරිය වැනි ක්ලේශයන් ප්රහාණය වන්නේ මෙත්තා චෙතො විමුක්තිය ඇති වන්නේ ඡන්ද ඉද්ධිපාදය වැඩිය හැකි වන්නේ ය.
ඡන්ද ඉද්ධිපාදය අපි විමසලා බලමු. යම් නිර්වාණය සඳහා ඡන්දයක් ඇත්ද, එය මගින් සියලු වස්තූන් සහ ධර්මයන් ලාභ වශයෙන් නොගනී. මෙය මච්ඡරියට ඇති බාධාව වන්නේ ය. යම් මච්ඡරියක් ඇති ද, එමගින් අභිජ්ඣා වන්නේ, දෝමනස්ස වන්නේ, එය ඡන්ද ඉද්ධිපාදයට බාධාව වන්නේ ය. මෙසේ මච්ඡරිය පහව යන්නේ, ඉවත් වන්නේ ඡන්ද ඉද්ධිපාදය මගින් නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය. මෙය කෙසේ වටහා ගත යුතු ද?
මෙත්තා අප්‍රමාණයට යන්නකු සත්වයාට වෙනස්කම් නොකරයි. තිරිසනාත්, මනුස්සයාත්, දෙවියාත්, බ්‍රහ්මයාත් සියල්ල එකයි. සියල්ලෝ ම දුකේ සිටී. පවතිනවා යන නිත්‍යභාවය නිසා අගයන් දෙන බව අපි 11/05/2016 මෙත්තා චෙතො විමුක්ති භාවනාවේදි අපි සාකච්ඡා කළා. මච්ඡරිය ඇති වන්නේ පලාසය මගිනි. එහි දී වෙනස්කම් කියන එක කරනවා.
එතකොට මේ භාවනාවේදි හරියට පැහැදිලි වෙනවා දැන් අර රූපයේ නිත්‍ය කතාව හින්ද නේ අපි ඔය උපෙක්ඛා අප්‍රමාණය නැති වන්නේ. එහෙම නම් අපිට පේනවා මෙතනදි, අපි මච්ඡරිය තේරුම් ගත්තා පමණක් නෙවෙයි අපිට පේනවා මේ රූපයේ වෙනස නිසා තමයි අපිට ඔය ඡන්ද ඉද්ධිපාදයන්ට යන්න තියෙන බාධාව තියෙන්නේ. වේදනාවේ වෙනස නිසා තමයි මේ චිත්ත ඉද්ධිපාදයට බාධාව. ඊළඟට සඤ්ඤාවේ වෙනස නිසා තමයි මුදිතාවෙන් ගිහිල්ලා යන්න බැරිකම තියෙන්නේ. ඊළඟට පේනවා මේ සංස්කාරවල වෙනස නිසා තමයි අර උපෙක්ඛාව, ඒ කියන්නේ අර පාණාතිපාතය වාගේ දේවල් කළා ද, දැන් ඒවා පහ කළා ම, මේක සුඛයි. එතකොට ඒක නිසා අරක දුකයි කියලා පේනවා. එතකොට එතන සංස්කාර වශයෙන් වෙනස් කිරීම කියන එක නොකිරීමක් තමයි අන්තිමට උපෙක්ඛාව කියන එක ගත්තහම තියෙන්නේ. ඒ විදිහට ඒ හතර ලස්සනට පැහැදිලි වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.