Date: 17/05/2016 Name: කරුණා චෙතොවිමුත්ති

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවෙදි මෙනෙහි කළේ කරුණා චෙතො විමුක්තිය. ඊයේ භාවනාවෙදි මෙත්තා චෙතො විමුක්තිය මගින් සත්වයන්ට, දෙවියෝ, මනුස්සයෝ, බ්‍රහ්මයෝ ආදී වශයෙන් වෙනස්කමක් නොදක්වන බව අපි සාකච්ඡා කළා. එනම් රූපයට වෙනස්කමක් නොකරයි. එය වීමට නම් සංස්කාරවලට ද වෙනස්කමක් නොකළ යුතු බව වටහා ගත්තා. උපෙක්ඛා නිමිත්ත නොවන්නේ නම් මෙත්තා චෙතො විමුක්තිය නොවේ. එසේ ම කරුණා චෙතො විමුක්තිය වීමට කුමන කාරණයන් අඩංගු වී තිබිය යුතු ද? වේදනාවට ප්‍රතිචාර නොදක්වන චිත්ත සමාධිය තිබිය යුතුයි. චිත්ත සමාධියට හතුරෝ දෙන්නා වන ව්‍යාධිය සහ ද්වේෂය ඉවත් කිරීමට ඉද්ධිපාද හතර ම තිබිය යුතුයි. මෙය ඉද්ධි diagram එකේ කළ සාකච්ඡාවේදි දුක්ඛ නිරෝධ සත්‍යය මනසට නැංවූවා. තණ්හාව නිසා ඒ දුක ඇති වන්නේ, ඒ වේදනාව නිසා තණ්හාව වන බව දන්නේ, දක්නේ එමගින් අත්තවාද උපාදානයේ සිට අත්තභාව පටිලාභය දක්වා වේදනාව හේතු කොටගෙන, කාරණා කොට යෑම පහ කර කරුණා අප්‍රමාණ වීම සිහි විය.

ඊයේ භාවනාව සමඟ සසඳන්නේ, රූපයේ වෙනස දැක ප්‍රතිචාර දක්වන්නේ, ඒ කියන්නේ මනුස්ස, දේව, බ්‍රහ්ම ආදී වශයෙන්, එමගින් මෙත්තා අප්‍රමාණ නොවන බැවින් කරුණාව ඇති කරගත නොහැක. සංස්කාරවල වෙනස දැක එයට ප්‍රතිචාර දක්වන්නේ, පාණාතිපාත වැනි ක්‍රියාවලියන් කරන්නේ උපෙක්ඛා අප්‍රමාණ නොවන බැවින්, කරුණාව පැවැත්විය නොහැක.

රූප සහ රූප නිසා ඇති වූ සංස්කාර යන දෙක ම මගින් ම ඇති වන්නා වූ වෙනස, ඒ කියන්නේ රූප නිසා වෙනසයි සංස්කාර නිසා වෙනසයි, සඤ්ඤා මගින් හඳුනා ගන්නේ, එවන් වූ සඤ්ඤාවලටත් ප්‍රතිචාර දක්වන්නේ මුදිතා අප්‍රමාණ නොවන බැවින් කරුණාව පැවැත්විය නොහැක. එසේ නම් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර යන ඕනෑ ම එකකට ප්‍රතිචාර දක්වන්නේ, කරුණා චෙතො විමුක්තිය ඇති නොවේ.

මෙම අවස්ථාවෙදි මම රූප දැක්කා. ප්‍රතිචාර නොදැක්වුවා. වේදනා, රස්නය නිසා ඇති වන්නා වූ ප්‍රතිචාර ඇති වුණා. ප්‍රතිචාර නොදැක්වුවා. අතීත භවයන් දුටුවා. ප්‍රතිචාර නොදැක්වුවා. මේ වෙනස්කම්වලට ප්‍රතිචාර නොදක්වන බව විඤ්ඤාණය මගින් දැනගන්නේ, විඤ්ඤාණයේ වෙනසක් නොවන බව දන්නේ, දක්නේ, කරුණා චෙතො විමුක්තිය ඇති විය. මෙහි වෙනස මුළු මුහුණ ම පමණක් නොව කන් දෙකත් සුඛ වශයෙන් දැනීමයි. වෙනස හැටියට තියෙන්නේ ඒකයි. නමුත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වයි. කරුණා චෙතො විමුක්තිය පසුව පැහැදිලි කිරීම දැන් හොඳට වැටහෙනවා. අර මෙත්තා, මුදිතා, උපෙක්ඛා නොමැතිව ඒක සිද්ධ වෙන්නේ නෑ.

ඒක තමයි මං කරපු භාවනාව.