ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ මෙත්තාව. යම් මෙත්තා අප්‍රමාණයක් වේ ද එමගින් පහ කරන ලද අකුසල කොටස්වලට අමතරව, මෝහය නිසා වන ලෝභ කොටස ඉවත් කිරීම ඉතිරිව ඇති බවත්, එහි ඇති නිත්‍යභාවය නිසා මෙත්තාවට හානි වෙන බවත් 11/05/2016 මෙත්තා චෙතො විමුක්ති භාවනාවෙදි අපි ඉගෙන ගත්තා. ඒ මෙත්තා චෙතො විමුක්ති භාවනාව එන්නේ ඔය අලෝභ පාරේ. දැන් ලෝභ පාරේ තියන එකට විරුද්ධව කාරණා එතන නමයක් තියෙනවා. ඉතින් ඒ භාවනාවෙදි අපි බලලා තියෙනවා ඔය වෙනසක් කියන එක අපි නොකළ යුතුයි කියන එක.
දැන් අපි සාමාන්‍යයෙන් නම් කූඹියයි අලියායි අතර වෙනසක් තියෙනවා. අලියායි දෙවියයි අතර වෙනස්කමක් තියෙනවා. මෙත්තා අප්‍රමාණයට යනකොට ඔය වෙනස කියන එක නැති වෙලා යනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගන්න, ඔය මෙත්තාවට බලපාන්නා වූ ප්‍රශ්නය තමයි මේ නිත්‍යභාවය කියන එක. අපි හිතමු බල්ලෙකුයි දෙවියකුයි ඉන්නවා. එතකොට අපි දෙවියට තැන දෙනවා බල්ලට වැඩිය. හිතන්න ඊළඟ මොහොතේ දී දෙවියා මැරෙනවා. දෙවියා මැරෙනවා, බල්ලා ඉන්නවා. දැන් ඕගොල්ලෝ තැන දෙන්නේ කාට ද? බල්ලට මේ බල්ලා නිසා මට මේකේ පැවැත්වීම, නයෙක් එනකොට බුරනවා හරි මොනවා හරි එකක් තියෙනවා නේ. එතකොට මගේ ජීවිතයේ පැවැත්වීමත් එක්කයි මේ කතාව තියෙන්නේ. එතකොට අර නිත්‍යභාවය, දැන් බල්ලා ඉන්නවා කිව්වා ම, දෙවියා මළා, බල්ලා ඉන්නවා, දැන් නිත්‍යභාවය, ඔන්න ඕක බලපානවා.
ඒ නෙක්ඛම්ම පවිචාරය මගින් ඒ සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කරන්නේ, මෙම නිත්‍යභාවය ඉවත් වන්නේ නම් මෙත්තා චෙතො විමුක්තිය නොසැල් වී පවතී යැයි ද, අපි ඒ භාවනාවෙදි ඉගෙන ගත්තා. එතකොට අද භාවනාවෙදි මෙනෙහි කළේ එම සමාපත්ති ධර්මයන් පහ කිරීමට ඇති බාධාව කුමක් දැ යි කියන එක.
ඒකෙ පෙන්නනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය මගින් ඔය තමන්ගේ සිත සමාපත්ති ධර්මයන් කියන ඒවා පහ කිරීමට විරියක් එතන තියෙන්නේ. ඊළඟට පෙන්නනවා නෙක්ඛම්ම පවිචාරය. ඒ නෙක්ඛම්ම පවිචාරයෙන් අරකට තියෙන ඇල්ම පහ කරනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය හිතන්න හරියට නිකන් මොකක් හරි එකක් පුච්චන්න ඕන නම් අපි ඒක ගින්දරට උස්සන්න ඕන නේ, අන්න ඒ ඉස්සුවා වගේ. ඊට පස්සේ නෙක්ඛම්ම පවිචාරය කිව්වා ම අරක අයින් කරලා දමනවා, අන්න ඒවාගේ ඒකට තියෙන ඇල්ම පහ කිරීම කියන එක.
එතකොට අද භාවනාවෙදි කල්පනා කරනවා, ඒ බාධාව මොකක් ද? ඒ යම් සමාපත්ති ධර්මයක් වේ ද, එය විඤ්ඤාණයේ කිඳා බැස ඇත්තේ එවැනි ධර්මයන්ගෙන් අපි සිත පෝෂිත කළා. Rich කළා. අන්න ඒක නිසායි. එසේ පෝෂිත කළේ කුමක් අරභයා දැ යි විමසා බැලිය යුතුයි. යමෙක් එසේ වාසය කරනවා දැක එහි ජීවත් වීම හොඳ යැයි හැඟීම් ඇති වුණේ, අන්න ඒකයි, අතීතයේ කවුරු හරි සමාපත්තියේ ගිහිල්ලා වාසය කරනවා කියලා තමන් දැකලා අන්න තමනුත් කල්පනා කළා ඒක හොඳයි කියලා. අන්න ඒ අරමුණ තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ.
එතකොට මේ භාවනාවෙදි හැබැයි ඒ සමාපත්තිය තමන් නංවන්න ඕනෑ. තමන් නිකන් හිතුවොත් එහෙම මම සමාපත්තිය අයින් කරනවා කියලා සමාපත්තියක් නැතිව එකේ තේරුමක් නෑ. සමාපත්තියට නංවලා අපි හිතමු ආකාසානඤ්චායතන සමාපත්තිය කියලා, මේක එපා කියලා අයින් කරන්න ඕන. අන්න ඒ ක්‍රමයටයි භාවනාව වෙන්න ඕන.
එතකොට නමුත් ඒ සමාපත්ති ධර්මයේ අනිත්‍යභාවය මනා කොට වටහා ගන්නවා නම් එම ධර්මයන්ගෙන් ගැලවිය හැකි වෙනවා. මේ ධර්මයෝ තුන් ආකාර වෙනවා. එකක් තමයි අතීත භවවල එසේ වාසය කිරීම නිසා ඇති වුණ හැඟීම් ස්වභාවය. දැනට පවතින්නා වූ අවිනිශ්චිත ස්වභාවයෙන් මිදීමට ඇති කැමැත්ත. තුන් වෙනි එක තමයි සංසාරයේ යෑමට ඇති කැමැත්ත.
මේක සම්බන්ධ වෙන්න ඕන ඊයේ භාවනාවත් එක්ක, දුක්ඛ නිරෝධ භාවනාවත් එක්ක. අතීත භවවල එසේ වාසය කිරීම නිසා ඇති වුණ හැඟීම් ස්වභාවය නිසා යම් අත්ත ධර්මයක් වේ ද, එය පහ කිරීම, මරණය දුක බව වටහා ගැනීම මගින් ඇති වේ. එනම් චාගාධිට්ඨානය භාවිතා කරලා ඒක ඉවත් කරන්න ඕන. දැනට පවතින්නා වූ අවිනිශ්චිත ස්වභාවයෙන් මිදීමට ඇති කැමැත්ත ව්‍යාධියේ දී වටහා ගත් අයුරින් රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් වැළකෙන්න ඕන. ඊයේ කාරණා හතරක් කිව්වා නේ.
එතකොට ඊළඟට ඊයේ කාරණාවලින් පළවෙනියටයි දෙවෙනියටයි ආපු එක තමයි මේ පෙන්නන්නේ තුන් වෙනි එක හැටියට මේකේ. සංසාරයේ යෑමට ඇති කැමැත්ත පහ කිරීමට නම් භව ප්‍රත්‍යයෙන් ජාති සහ ජාති ප්‍රත්‍යයෙන් ජරා වෙන බව මනා කොට අවබෝධ කරගන්න ඕන. එහෙනම් දුකයි කියන එක තමන්ට තේරුණා ම මේ විදිහට අන්න එතනදි ඒ සංසාරයේ යෑමට ඇති කැමැත්ත යනවා. එතනට යන්න නම් අර භව පච්චයා ජාති කියන භාවනාව බලන්න ඕන අර පාරවල් තුනකින් ජාතියට එනවා කියන එකයි ඊට පස්සේ ඉතින් ජාතිය ඇති වුණා නම් අපි අර ආයතනයන් හදනවා. ඉතින් මේ ආයතන ඔක්කෝම ඉතින් නැති වෙලා යනවා කියන එක නේ තියෙන්නේ, ජරාවට නේ ද? ඒක හොඳට වටහා ගන්න ඕන.
ඒක තමයි මං කරපු භාවනාව.