ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, ඒ මෙත්තා චෙතො විමුක්තිය සහගතව කොපමණ කාලයක් සිටීමෙන් පරාමාසය පිරිසිදු කරගත හැකි වේ ද යන්නයි.
පළවෙනි කාරණයට පෙන්නනවා, අනිත්‍යභාවය මනා කොට අවබෝධ කරගන්නා අයකු දවසක් හෝ දවසකට අඩු කාලයකින් පරාමාසය පිරිසිදු කරගත හැකි වන්නේ, ආශ්‍රවයෝ නැසීම කළ හැකි වන්නේ ය. මෙය සිදු වන්නේ ධාරාවේ ගැලීම නොවීම නිසා පරාමාස ධර්මයන් ඉස්මතු වන්නේ ඒවා පහ කිරීම මගිනි. ඉතින් මේ භාවනාව අර මෙත්තා චෙතො විමුක්තියට ඉස්සෙල්ලා නංවලා ඉන්න ඕනෑ. අපි ඒක ඉගෙන ගත්තා නේ කලින්. ඒ භාවනාවේ හැටියට ගිහිල්ලා අර සමාපත්තිවලට තියෙන ඇලීම පවා පහ කරලා, අර වෙනස් කිරීමක් කරන්නේ නැතිව ඒ නිත්‍යභාවය අයින් කරලා, තමයි අපි මෙතන්ට එන්න ඕන.
ඊළඟට දෙවෙනි කාරණයට පෙන්නනවා, අනත්තභාවය මනා කොට අවබෝධ කරගන්නේ නම්, දැන් අපි පළවෙනි කාරණයෙදි ඉවත් කිරීමට යන කාලයටත් පෙර එය කළ හැකි වන්නේ ය. කුමක් නිසා ද? පරාමාසය තුළ තිබුණා වූ අත්ත ධර්මය ම අනත්තා යැයි වැටහීම මගින් ඉතා ඉක්මනින් පහ කිරීමයි. එනමුදු අනිත්‍යභාවය නොවැටහෙන්නේ නම්, එසේ ඉවත් කිරීමක් සිදු නොවෙයි. එසේ නම් අනත්තා යැයි වැටහෙන්නේ අනිත්‍යභාවය වැටහීමෙන් අනතුරුව වේ.
ඉතින් ඔතනදි, මේ භාවනාව හරි අමාරුයි කරන්න. මොකද සිත නතර වෙනවා. කාරණාවෙන් කාරණාවට සිත නතර වෙනවා. ඉතින් චතුරාර්ය සත්‍යයේ අර සමුදය අත්ථඞ්ගමය ඒක මෙනෙහි කරමින්, දැන් අපි දුකයි කියලා බලනවා, ඊළඟට සමුදය අත්ථඞ්ගමය කියන එක තියෙනවා. තණ්හාව නිසායි ඇති වන්නේ, තණ්හාව නැති වෙනකොට නැති වෙනවා කියලා. එතකොට ඒක දෙපැත්තට යනවා නේ. එතකොට ආපසු සිත නතර වෙනවා. දැන් ඔය දෙවෙනි කාරණයෙදි අපිට හොඳට පැහැදිලි වෙනවා, අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව, ඒක හරහා ඇවිල්ලා අර දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවත් එක්ක මගේ කියලා ගන්නේ නැති වෙන්න. අසූචි මගේ නොවෙයි කියලා එහෙම ගන්න නම්, ඒ පුද්ගලයාට මෙත්තාව කියන එක තියෙන්න ඕන. නැත්නම් අර අසූචි එක ගැනත් තරහවක් තියෙනවා නම් එයාට ගැලවෙන්න බෑ. එතකොට ඒක තමයි අර මනස උස්සලා අතනින් කරන්නේ. එතකොට ඒක කෙනෙකුට ඒ ඛිප්පාභිඤ්ඤාවත් එක්ක හිතන්න පුළුවන් හරි ලස්සනට.
එතකොට තුන් වෙනි කාරණයට පෙන්නනවා. දුක්ඛභාවය වැටහෙන්නේ නම්, පැයකින් වුවත් පරාමාසය පිරිසිදු කළ හැකි වන්නේ ය. එනමුදු, දුක්ඛභාවය වැටහීමට නම්, අනත්තභාවය වැටහී තිබිය යුතු ය. හේතුව කුමක් ද? යම් දහමක් අත්තා වශයෙන් ගන්නා තාක්, දුක්ඛ යැයි සිතිය නොහැක්කේ ය. අනත්තා යැයි නොවැටහී, දුක්ඛ යැයි සිතන්නේ ඔහු මුළාවට පත් වන්නේ ය. අත්තා කියලා ගත්තහම එතනින් එනවා. 1-3, මෝහය. තයොධම්ම සූත්‍රය. එතකොට එවැන්නෙකු, වරෙක දුක යැයි කියන්නේ, තව වරෙක එම දුක මගේ යැයි කියන්නේ ය. ඇයි මනුස්සයෝ කියනවා නේ, ඔයා දැන් ඕකෙන් දුකට තමයි පත් වන්නේ කිව්වා ම, කමක් නෑ, ඒක මගෙ නේ දුක, ඔයා ඒකට කලබල වෙන්න ඕනේ නෑයි කියනවා නේ ද? ආන්න ඒ වගේ තමයි ඒ දුක මගේ කියලා ගන්නවා. ඉතින් එහෙම නම් ඒකේ වැටහීමක් කියන එක සිද්ධ වෙන්නේ නෑ.
බොහොම ලස්සන භාවනාවක්. ඒ කියන්නේ සිත අනාශ්‍රවයේ ම තමයි ඉන්නේ. සිත නතර වෙවී නතර වෙවී පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.