Date: 06/06/2016 Name: කරුණා චෙතොවිමුත්ති

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ මෙත්තා චෙතො විමුක්තිය මගින් කරුණා චෙතො විමුක්තිය දක්වා යෑම සඳහා කුමක් කළ යුතු ද යන්නයි.

යම් කරුණා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ චාගාධිට්ඨානය අඩංගු වන්නේ ය. එනම් අතහැරීම අඩංගු වන්නේ ය. එසේ නම් කාරණා තුනක් භාවිතා කිරීමෙන් කරුණා චෙතො විමුක්තිය, මෙත්තා චෙතො විමුක්තියට අනතුරුව ඇති කරගත හැකි වන්නේ ය. කුමන කාරණා තුනක් ද?

අත්නොහරින ලද ආස්වාද සහිත වූ, සුඛ යන සඤ්ඤා පහ කළ යුතුයි. දෙවෙනි කාරණයට පෙන්නනවා, එම සුඛය නිසා ඇති වූ අත්ත සඤ්ඤාව පහ කළ යුතුයි. තුන් වෙනි කාරණයට පෙන්නනවා, එම අත්ත සඤ්ඤාව සනාථ කරන සංස්කාරයන් මගේ යැයි ගැනීම පහ කළ යුතුයි. මෙම තුන් ධර්මයන් පහ කරන්නේ නම්, මෙත්තා චෙතො විමුක්තියට අනතුරුව කරුණා චෙතො විමුක්තිය වීම කළ හැකි ය.

මෙය 17/05/2016 කරුණා චෙතො විමුක්තිය භාවනාව සමඟ සැසඳිමෙන් වටහා ගත හැකි ය. ඒ භාවනාවේදි අපි පෙන්නනවා, අප්‍රමාණයන් කියන ඒවා හතර ම තියෙන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා අප්‍රමාණ හතර නැත්නම්, කෙනෙකුට ඒ කරුණා චෙතො විමුක්තියට යන්න බෑ. ඉතින් මේ භාවනාවේ මෙත්තා චෙතො විමුක්තියට ගිහිල්ලා, ඒක අපි කරලා තියෙනවා නේ, ඒ විදිහට ගිහිල්ලා, අර චාගාධිට්ඨානය කියන එක සිහි කරනවා.

සියලු උපධීන්ගේ යම් දුරලීමක් ඇත්ද, මේක උත්තරීතර වූ ආර්ය ත්‍යාගයයි කියලා. එතකොට ඒ උපධීන් පෙන්නනවා තුනයි කියලා මුලින්. තණ්හාවයි, දිට්ඨියයි, අභිසඞ්ඛාරයෝයි. ඉතින් ඔය කාරණා තුන නේ අපි දැන් මෙතන පෙන්නන්නේ. වේදනාව නිසා තණ්හාව වෙන එක සුඛ යන සඤ්ඤාව. එතකොට ඒකෙන් ඇති වෙන අත්තා දිට්ඨිය. ඊළඟට අභිසඞ්ඛාරයන්. ඒ විදිහට අර අප්‍රමාණ හතරත් එක්ක ගත්තහම අර කියනවා වාගෙම, දැන් මෙත්තාවෙන් අපිට දැනෙනවා නේ ලොකුවට සුඛයක්, චෙතො විමුක්තියේ, කන් දෙකේ ඉඳන් හරි ලස්සනට ඒක දැනෙනවා. මේකෙ පේනවා ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් ඒ විදිහට.

ඒක තමයි මං කරපු භාවනාව.