ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට ගත්තේ උපෙක්ඛා චෙතො විමුක්තිය. යම් උපෙක්ඛා චෙතො විමුක්තියක් වේ ද එය තුළ නිර්වාණයට සුදුසු වූ ගුණයන් පහක් පෙන්වා දෙන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි යමක් නැවත ගන්න ස්වභාවය නැතිකම. දෙවෙනි කාරණය තමයි යමක් පහ කරන ස්වභාවය. තුන් වෙනි කාරණය ආරද්ධ විරිය. හතර වෙනි කාරණය නෙක්ඛම්ම පාරමිතාව. පස් වෙනි කාරණය චලිත නොවන ස්වභාවය.
එතකොට මේකේ මේ කාරණා පහ බලනවා නම්, පළවෙනි එක, කුමක් නැවත නොගන්නේ ද? පහ කරන ලද තණ්හාව නොගනී. කෙසේ ද? උපෙක්ඛා චෙතො විමුක්ති වන්නේ, නන්දි නොවන්නේ, සුඛ බව දන්නේ ය. එසේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක නොගනී. ඔය උපෙක්ඛා චෙතො විමුක්තියේ තියෙනවා නේ අනිච්ච නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? මගේ කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වෙන්න වටිනවා ද? දුක්ඛ table එක. නන්දි වෙන්න වටින්නේ නැත්නම් සුඛ වන්නේ ද දුක වන්නේ ද? සුඛ වන්නේ ය. අන්න ඒ කාරණය තමයි එතැනට ගන්න තියෙන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක නොගන්නවා කියන එක.
දෙවෙනි කාරණයට පෙන්නනවා කුමන ධර්මයෝ පහ කරයි ද? පාණාතිපාතා වැනි සංස්කාරයෝ පහ කරනවා. මේක සිද්ධ වෙන්නේ උපෙක්ඛා නිමිත්ත හරහා. එතන පෙන්නනවා නේ යම්කිසි පාණාතිපාතයක් වාගේ දෙයක් කලින් කළා ද, ඒක දැන් පහ කළා නම්, පහ කළාට පස්සේ එයාට පේනවා සුඛයි කියලා, කරන්නේ නැතිකම. ඒ සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දකිනවා. එතකොට අන්න ඒක තමයි මෙතනට එන්න ඕන.
තුන් වෙනි කාරණයට පෙන්නනවා ආරද්ධ විරිය. අධිචිත්ත ශික්ෂාව හරහා තමයි ඒක ඇති වුණේ. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා කියනවා. නැවත උපද්දවන්නේ නෑ.
ඊළඟට හතර වෙනි කාරණයට පෙන්නනවා, නෙක්ඛම්ම පාරමිතා යනු කුමක් ද? නෙක්ඛම්මය සඳහා යම් පෙරුම් පිරීමක් ඇත්ද එයයි. එය කෙසේ ද? බොහෝ කාලයක් අත්හැරීම පුරුදු කරන ලද අයකු අත්හැරීමට ම සිත යොමු කර ඇත්තේ යම් දහමක් පහ කළ යුතු ද, ඒ පහ කිරීම සඳහා පමා නොවෙයි. කුමන දහමක් ද? ලෝභය පහ කළ යුතුයි. දෝෂය පහ කළ යුතුයි. මෝහය පහ කළ යුතුයි. අපිට මේකේ පේනවා ඔය ලෝභය පහ කිරීම කියන එක, ඔය නන්දි නොවන්නේ සුඛ වන්නේ ය කියන එකෙන් එක සිද්ධ වෙනවා. දෝෂය පහ කිරීම කියන එක, අව්‍යාපාද විතක්කය හරහා ඒක සිද්ධ වෙනවා. මෝහය පහ කිරීම කියන එක, අඤ්ඤාතාවින්ද්‍රිය හරහා සිද්ධ වෙනවා.
පස් වෙනි කාරණයට පෙන්නනවා, චලිත නොවන ස්වභාවය. යම් උපෙක්ඛා චෙතො විමුක්තියක් වේ ද, එය නිවනින් පිටත යමක් නොගන්නේ චලිත වීමක් නොවෙයි. රාග වශයෙන් විඤ්ඤාණය සැලීම සිදු වෙනවා. තණ්හා වශයෙන් සැලීම නැති කල්හි උපාදාන නොවන්නේ කිසිදු භවයකට නොයයි.
ඉතින් ඔය ද්වයතානුපස්සනා සූත්‍රයේ (සුත්ත නිපාත ගාථා 755) ගාථාවක් තියෙනවා. “අනිස්සිතො න චලති නිස්සිතො ච උපාදියං, ඉත්ථභාවඤඤථාභාවං සංසාරං නාතිවත්තති” කියලා. අනිස්සිතො වුවහොත් සැලෙන්නේ නෑ. ඒ නිශ්‍රය ම උපාදාන විසින් ස්කන්ධයෝ ගන්නවා. එතකොට ඒක නිසා අර මේ භවය, අන්‍ය භවය, ඒ සංඛ්‍යාත සංස්කාරය, ඉක්ම නොවැටෙයි කියලා ඒකේ පෙන්නනවා.
එතකොට මෙන්න මේ කාරණා පහ. ඉතින් මේක කරන්න ඕනේ අපි ඊයේ භාවනා කළ විමංසා ඉද්ධිපාදය භාවනාවේ විදිහට. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයෙන් අපි අර බලන කාරණා තුන, අවිද්‍යාව, අභිනිවේසය, මෝහය ඒක බලලා අපි ආවා කාමයේ වරදවා හැසිරීම, මේ පැත්තට ගිද්ධිලෝභයත් එක්ක. එතනින් අපි ඡන්ද ඉද්ධිපාදය භාවිතා කරලා කාරණා හතරක් අපි පහ කළා. එතකොට අන්න ඒක ගත්ත ගමන්, ඉතින් මේ දකුණු පැත්තෙන් ප්‍රඥාව, දකුණු කම්මුල දැනෙනවා ප්‍රඥා විමුක්තිය, වම් පැත්තෙන් චෙතො විමුක්තිය ඔය දෙක සහගතව තමන් ඉන්නවා. මෙතනට ආවට පස්සේ කෙනෙකුට පේනවා, මේ ඡන්ද ඉද්ධිපාදයෙන් මේවා පහ කළහම අර තියෙන රේඛාව පේනවා, ඒකේ කෙළවර තියෙන්නේ ජරාවයි, එතකොට උඩ වේදනාව. ඕක දික් කළා ම අසම්පජානය. එහෙම නම් මේ රේඛාව කැරකුණා නම් අන්න තණ්හා පපඤ්චය. තණ්හා පපඤ්චය ඇති වන්නේ, මේ පැත්තෙන් දිට්ඨි පපඤ්චය.
එතකොට දැන් ඔන්න ඔතනට ආවාට පස්සේ තමයි, මේ භාවනාවේ මේ කෑල්ල ගන්න ඕන. කැරකුණොත්, චලිත වුණොත් ඉවරයි කියන එක. එතකොට මේ කාරණා පහ තමන් ඒ විදිහට බලාගෙන ආවාට පස්සේ, ඔන්න තමන්ට පේනවා මේකේ මේ හතර වෙනි කාරණය නෙක්ඛම්ම පාරමිතාවේ අපි මෙනෙහි කරන්න ඕනෙ මෝහය අවසානයට. ඒ කියන්නේ ද්වේෂයයි, ලෝභයයි පහ කිරීම මෙනෙහි කරලා, මෝහ කතාව අඤ්ඤාතාවින්ද්‍රිය මෙනෙහි කරන්න ඕන. එතැනින් ගත්තට පස්සේ තමන්ට පේනවා එහෙම නම් අඤ්ඤාතාවින්ද්‍රියෙන් එනවා බ්‍රහ්මචරියෙසනාවට. ඒ කියන්නේ දැන් අපි කියනවා මම නැති කරපු කාම ආශ්‍රවයන්ගේ පිහිට හොයන්න යන්නේ නෑ කියලා. එතකොට එහෙම නම්, මම මේ අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවයට එන එක, ඒක නතර වෙනවා. එතකොට එහෙම යන්නේ නැත්නම්, අන්න අර රේඛාව කැරකෙන්නේ නෑ. තණ්හා පපඤ්ච රේඛාව කැරකෙන්නේ නැහැයි කියන එක තියෙනවා. ඒක බොහොම ලස්සන භාවනාවක්. හෙල්ලෙන්නේ නැතිව තමන් ඉන්නවා. ඒ කියන්නේ හෙල්ලුණොතින් ඉවරයි. ඒක නේ පෙන්නන්නේ චලිතය තියෙනවා නම් ඉවරයි කියන එක.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.