ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට තෝරගත්තේ, දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාව. යම් අරූප ධ්‍යාන තලයක වාසය කරන අයකු පළමුව දීම හේතු කොටගෙන අත්හැරීම පුරුදු කරන ලද්දේ පඤ්ඤාධිට්ඨානය භාවිතා කර එම අරූප ධ්‍යාන තලයේ ඉපදීම සිදු කර ගන්නා ලද්දේ නම්, එම පඤ්ඤාධිට්ඨානය මගින් මායිම් කරන ලද රාමුවක් වේ ද, එහි සංස්කාරයන් ඉවතලීම කෙසේ සිදු කරන්නේ ද යන්නයි. ඔහුට විරිය මගින් පහ කළ හැකි සංස්කාරයෝ කවරහු ද? එය එම තලය අනුව සිදු වන බව පැවසිය යුතුයි. ආකාසානඤ්චායතනයට ගිය අයකු එම වේදනා එපා යැයි ඉවත් කරන්නේ හය වෙනි ධ්‍යානයට ද, හය වෙනි ධ්‍යාන තලයේ අයකු වේදනා එපා කියන්නේ හත් වෙනි ධ්‍යානයට ද, හත් වෙනි ධ්‍යාන තලයේ අයකු සඤ්ඤා එපා කියන්නේ අට වෙනි ධ්‍යානයට ද, අට වෙනි ධ්‍යාන තලයෙන් එළියට පැමිණ සංස්කාර එපා යැයි කියන්නේ නිරෝධයට යෑම ද විය හැකි ය.
එසේ නම් තම තමන් සිටින්නා වූ තලය අනුව ම සලකුණු කරගත් මායිම් ඉවත් කරන බව වැටහේ. Boundaries අපි හදාගෙන තියෙන්නේ. මෙහි දී අභිජ්ඣා ඇති ද නැති ද යන්න අනුව ම නිර්වාණය සාක්ෂාත් කරන බව වැටහෙනවා. අභිජ්ඣා නැති කිරීමට නම් සම්මා දිට්ඨිය අවශ්‍යයි. මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීමට සම්මා ඥානය අවශ්‍ය වෙනවා. කුමන සම්මා ඥානයක් ද? 2016 ජූලි 17, 18, 19 නිබ්බාන භාවනා මගින් ප්‍රගුණ කරන ලද සම්මා ඥානය බව කිය යුතුයි. ඊයේ, පෙරේදා අපි කරපු භාවනා තුන.
එතකොට මේ භාවනා තුන මම බැලුවා නේ. ඒ භාවනා තුන මම නැවතත් උදේ වරුවේ බැලුවා. බලලා මම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට කෘතඥතාවය පළ කරනකොට ම, ඒ ලෝකයේ සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා එවෙලේ ම මගේ ඒ විමුක්ති ස්වභාවය ඇති වුණා. ඕක මම තේරුම් ගත්තා ඊයේ රාත්‍රියේ ම මට ඡන්ද ඉද්ධිපාදයේ දී ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය වගේ ම ස්වභාවයක් ඔය මණ්ඩලාධිපති බුදුපියා සිහි කරපු ගමන් ඇති වෙනවා කියලා.
එතකොට ඒක ආපහු මතු වුණා මෙතැන දීත්. එතකොට ඒ විමුක්තිය සහගතව ම ඔය භාවනා තුන ම, මම කළා, ඊයේ, පෙරේදා කරපු භාවනා තුන. කරුණාවෙන්, උපෙක්ඛාවෙන්, මුදිතාවෙන් ඒ අනුපිළිවෙළට, මම පටන් ගත්තේ මුදිතාවෙන්. ඊයේ එකෙන් පස්සේ පෙරේදා එකට ගිහිල්ලා. ඒ විදිහට ඒ තුන ම කළා.
උදාහරණ විතරයි මම ගත්තේ. මම කිව්වේ අර බලු පැටියෙක් ඉන්නවා, මේකයි කියන එක. ඒ කාරණා ටික මට මතකයි. අර උදාහරණ තුනෙන් ම මගේ විමුක්තිය කිසිවක් හෙලවෙන්නේ නැතුව ඒ විදිහට ම පැවතුණා. මම තේරුම් ගත් දේ තමයි ඒ තුනේ දී ම මේ විමුක්තියේ ස්වභාවය එකයි. වෙනසක් වෙන්නේ නෑ. ඒ කියන්නේ තුන ම එකයි කියන එකත් මට තේරුණා. ඒකට ගිය පුද්ගලයාට තියෙන ස්වභාවය ඒකයි.
එතකොට එහෙම ඉඳලා ඊට පස්සේ මම භාවනාව අවසන් කළා, “ඇති” කිව්වා ම. ඊට පස්සේ මම ඇහුවා, ඇයි මට ඒ විදිහට ඒ ඡන්ද ඉද්ධිපාදයේ තියෙන ස්වභාවය ම තියෙන විමුක්ති ස්වභාවය ම ඇයි මණ්ඩලාධිපති බුදුපියා සිහි වුණා ම ඇති වෙන්නේ කියලා. එතනදි කිව්වා “තථාගතයන් වහන්සේ ගැන යම් වූ ශ්‍රද්ධාවක් ඡන්ද ඉද්ධිපාදය තුළ ඇතුළත් වෙලා තියෙනවා ද, එවන් වූ ශ්‍රද්ධාවක් මට මණ්ඩලාධිපති බුදුපියා ගැන සිහි කරනකොටත් ඒ විදිහට ම තියෙනවා” කියලා. ඒකේ හේතුව මොකද? මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මට බොහෝ කාලයක් ධර්මය දීලා තියෙනවා. ඒක නිසා ඒක ඒ විදිහට ඇති වෙනවා කියලා.
ඒක තමයි මං කරපු භාවනාව.