Date: 21/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි සිහි කළේ මෙත්තා අප්‍රමාණය, අරි අට මඟ සමඟ වඩන්නේ නම් කුමක් සිදු වන්නේ ද යන්නයි. මෙත්තා අප්‍රමාණයේ ගුණයන් හතරක් අරි අට මඟ මගින් දියුණු වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරනවා. කුමන ගුණ හතරක් ද? පළවෙනි එක දුක්ඛ ආර්ය සත්‍යය, දෙවෙනි එක සච්චාධිට්ඨානය, තුන ඡන්ද සමාධිය, හතර ඉන්ද්‍රිය සංවරය. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ සඳහන් වන කාරණා.

දුක්ඛ ආර්ය සත්‍යය අරි අට මඟින් වැඩිදියුණු වන බව අපි දනිමු. ඒ අනුලෝම ප්‍රතිලෝම දක්වා බලන්නේ මනා කොට, දියුණු වී අප්පණිහිත චෙතො විමුක්තිය වීමෙන් ම නිර්වාණය සාක්ෂාත් කළ හැකි වූවත්, ඒ සඳහා අරි අට මඟ ද දියුණු වී තිබිය යුතු බව දත යුතුයි. එහෙම නැත්නම් අර විදිහට යන්න පුළුවන්කමක් ඇති වන්නේ නෑ, විමුක්තිය ලබා ගන්න.

සච්චාධිට්ඨානය තුළ කිසියම් දහමක් මගින් නිර්වාණය හැර අනෙක් කිසිවක් පැවැත්විය නොහැකි බව දන්නේ දක්නේ, ඒ මගින් ම නිවන සාක්ෂාත් කළ හැකි වූවත් ඒ සඳහා අරි අට මඟේ සම්මා දිට්ඨියෙන් ඇති වන සම්මා ඥානය උදව් උපකාර කළ යුතු ය. එසේ නොවන්නේ නම් සච්චාධිට්ඨානය ඇති නොවේ.

ඡන්ද සමාධිය නිවනට බර ය. එනමුත් එයට යම් දහමක් උදව් උපකාර නොකරන්නේ නම් එහි පැවැත්මක් නැත. එය කුමන ධර්මයක් ද? යෝනිසොමනසිකාරය යැයි කිය යුතු ය. අරි අට මඟින්, සම්මා දිට්ඨිය මගින් දැනගන්නා වූ අනිත්‍යභාවයත්, දුක්ඛය වටහා ගැනීමෙන් ඇති වන්නා වූ අවබෝධයත් ඇතුළත් වේ. තව ද ඇති වන්නේ දුක බව දනී. එයින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කළ හැකියි.

ඉන්ද්‍රිය සංවර වන්නේ නම්, සතිය ඇති වේ. සතිය ඇති වන්නේ නම් එම සතිය මගින් අභිජ්ඣා පහ කිරීමට තුඩු දෙයි. එනමුදු ඒ සඳහා සම්මා දිට්ඨියෙන් ඇති වන සම්මා ප්‍රඥා අවශ්‍ය වෙයි. එමගින් සම්මා ඥාන ඇති වෙයි. කෙසේ ද? අභිජ්ඣාව චේතනාව සමඟ එකතු නොවීමත් සංස්කාර ඉවත් වීම නිසා භය අගති නොවීමත් යන, චේතනාවේ ඉඳන් භය අගතිය දක්වා වන අත්තා සංකල්පය ගිලිහී යෑමෙනි. මෙසේ අරි අට මඟින් මෙත්තා අප්‍රමාණය පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාව පළවෙනි කාරණය ගත්තහම මම භාවනා කරපු විදිහට, ඒ පළවෙනි කාරණයේ දී කියන්නේ මොකක් ද? දුක්ඛ ආර්ය සත්‍යය අරි අට මඟින් වැඩිදියුණු වෙනවා. ඒකෙන් පෙන්නනවා ඒ අප්පණිහිත චෙතො විමුක්තියට තමන්ට යන්න පුළුවන් වුණත්, ඒකට යන්න නම් අපිට මේ අරි අට මඟ ඕන. එතකොට ඕගොල්ලන්ට ඕක තේරෙන්න ඕන ඉතින් මෙත්තා සූත්‍රයේ උජු, සුජු කියලා එහෙම අපි අරගෙන තියෙනවා. සිල් කොටස ගත්තේ. දැන් බලන්න අරි අට මඟ නැත්නම් දුක තේරෙනවා ද?

පළවෙනියට ගන්න පාණාතිපාතය කියන එක කෙනෙක් කරනවා නම් ඒ පුද්ගලයා ඒකට මාන වෙනවා. එතකොට එහෙම නම් එයා හිතනවා මරණය කියන එක සුඛයි. මතය තියෙන්නේ පාණාතිපාතය හොඳයි. පාණාතිපාතය කියන්නේ මරණය. මරණය සුඛයි. එහෙම නම් දුක වැටහෙන්නේ නැහැ නේ. ඒක ජාති, ජරා, ව්‍යාධි, මරණයේ කෙළවර.

ඊළඟට අදත්තාදානය කරන එක්කෙනා අදත්තාදානය කරනවා නම් ඒ පුද්ගලයාට පේනවා, ඒක සුඛයි. ඒ කියන්නේ නුදුන් දේ ගන්නා වූ එක සුඛයි. මව් කුසට යන්නේ නොදීපු දේ අරගෙන. එහෙම නම් ජාතිය සුඛයි.

කාමයෙහි වරදවා හැසිරීම කරන එක්කෙනා ඒක කරන්නේ, එයාට පේනවා මේවා, මේ සංස්කාරයන් කිරීම, අර මව් කුසට ගිහින් අරක බදා ගන්න එක ඒක සුඛයි.

පේනවා ද, බුදුහාමුදුරුවෝ ගිහිල්ලා තියෙන විදිහ? මරණය කෙළවරින් පටන් ගත්තා. පාණාතිපාතය, අදත්තාදානයෙන් ආවා, ජාතියට. ඊට පස්සේ මේ සංස්කාරයන් කරන එක මුළු ඔක්කෝම දේවල් සුඛයි. ජාතියේ ඉඳන් මේකට වඩා යනවා කියන එක. කාමයෙහි වරදවා හැසිරීම. ඊළඟට මුසාවාදය. දැන් කියන්නේ මේවා සුඛයි කියලා, දුකයි කියලා නෙවේ. ඊට පස්සේ මේක ගත්ත මනුස්සයා පරුෂා වාචා, පිසුණා වාචා, කාරණාවෙන් කාරණාවට බලන්න පුළුවන්. ඇයි ඉතින් මෙයා හොඳයි කියලා හිතුවා. ඒ පාර ඉතින් ඒක පලාස කරනවා, නේ ද? මේ කාරණාව තමන් සුඛයි කියල නේ අරන් තියෙන්නේ. එතන ම තියෙනවා අප්පණිහිත චෙතො විමුක්තිය. එතන හිත නතර වෙනවා. එතනින් එහා පැත්තට භාවනාව කරන්න බෑ.

පළවෙනි කාරණාවෙන් ම ඒක ඉවරයි. ඉතින් ඒ විදිහට තමයි මම කළේ. ඉතුරු කාරණාවන් කෙටියෙන් මුල දී ම මට එහෙම එකක් ආවා විතරයි. ඒ තරම් ගැඹුරයි, ඒ භාවනාව. එකෙන් ම ඉවරයි.

ඒක තමයි මං කරපු භාවනාව.