ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ මුදිතා චෙතො විමුක්තිය, අරි අට මගින් පෝෂිත වන්නේ නම් කෙසේ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරයි ද කියන එක. යම් මුදිතා චෙතො විමුක්තියක් වේ ද, ඒ තුළ ඇති කාරණා තුනක් අරි අට මගින් පෝෂිත වන්නේ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරයි. කුමන කාරණා තුනක් ද? පළවෙනියට පග්ගහ නිමිත්ත. දෙවෙනියට අව්‍යාපාද විතක්කය. තුන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය.
එතකොට පග්ගහ නිමිත්ත යනු චතුරාර්ය සත්‍යයේ බැස ගැනීමයි. විශේෂයෙන් අරි අට මඟේ බැස ගැනීම මුදිතා චෙතො විමුක්තියට සාධාරණයි. එසේ නම් ඒ අරි අට මඟින් ම පෝෂිත වේ. අව්‍යාපාද විතක්කය තුළ උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹීම මගින් දෝෂය බැස යාම ඇතුළත්ව ඇත. අරි අට මඟේ සම්මා සංකප්පය තුළ ඇති අදෝෂ පාරේ ගමන් කිරීම එහි ම ඇති පාණාතිපාතා වැනි සංස්කාර ඉවත් කිරීම මගින් පෝෂිත වන්නේ නම් දෝෂය බැස යාම කියන එක සිදු වෙනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය තුළ සමාපත්ති ධර්මයන් පහ කිරීමේ ගුණය ඇත. අරි අට මඟේ ද ආර්ය වූ සම්මා සංකල්පය තුළ සමාපත්ති ධර්මයන් පහ කිරීම ඇත. දැන් ඕගොල්ලො දන්නවා, මේ ආර්ය වූ සම්මා සංකප්පයේ පෙන්නන්නේ “අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරිය මග්ගං භාවිතො තක්කො විතක්කො සංකප්පො අප්පණා ව්‍යාපනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරා” කියන එකයි. අර නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාව ඒක ආර්ය එක නොවේ.
එතකොට ඕක සිංහලෙන් කියනවා නම් මේකෙ පෙන්නනවා, “මහණෙනි, ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා සංකල්පය කවරේ ද යත්, මහණෙනි, ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ සමඞ්ගිත වූ ආර්ය මාර්ගය වඩනා වූ තක්කයක් විතක්කයක් සංකල්පයක් සිත අරමුණෙහි පිහිටීමක්, වෙසෙසින් පිහිටුවීමක්, සිත අරමුණට නැංවීමක්, වාග් සංඛාරයක් වේ ද, මහණෙනි, මේ සංකල්පය ආර්ය අනාශ්‍රව ය, ලෝකෝත්තර ය, මාර්ගාංග ය” කියලා පැහැදිලි කරනවා.
එතකොට කොහොම ද මේක සිද්ධ වෙන්නේ? සමාපත්ති ධර්මයන් පහ කිරීම ඇත. කෙසේ ද? අරිය චිත්තයක ඇති සංකල්පයෝ අනභිජ්ඣාව ගැබ්ව ඇති නිසා ය. සංකල්පය තුළ තියෙනවා අනභිජ්ඣාව. මෙය ඊයේ භාවනාවෙදි වටහා ගත් අයුරින් සිතිය යුතු ය. ඇති වන්නේ නොපවතින දෙයක් බව අරි අට මඟේ ආර්ය වූ සම්මා දිට්ඨිය මඟින් ම පෙන්වා දෙන්නේ අභිජ්ඣා නොවේ. එමගින් කිසිදු ධ්‍යානයක් අල්වා විඤ්ඤාණ ධාරාව නොපවත්වයි. මේ මගින් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරනු ලබයි. එතකොට බ්‍රහ්මචරියෙසනාවේ ඕගොල්ලො දන්නවා නේ කාරණා තුනක් තියෙනවා.
යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවතත් එම අකුසලයෝ නොගනී. ඒක සිද්ධ වෙනවා අර අව්‍යාපාද විතක්කය අපි දැන් කතා කළේ, දෝෂය බැස යනවා. ඒක මගින් ඒක සිද්ධ වෙනවා. දෙවෙනියට පෙන්නනවා යම් කුසලයක් වඩන ලද්දේ ද, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා. ඒක පග්ගහ නිමිත්ත මගින් සිද්ධ වෙනවා. තුන් වෙනියට එනවා යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වනවා. එතකොට එතන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකෙන් තමයි ඒ කෑල්ල සිද්ධ වෙන්නේ. එතකොට උඩ කිව්ව මුදිතා අප්‍රමාණයේ කාරණා තුනට වෙලා තමයි බ්‍රහ්මචරියෙසනාව එන්නේ. ඒක තමයි භාවනාව.
ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම්, අරිය සම්මා දිට්ඨිය තුළ ඇති ප්‍රඥාවේ තියෙන්නේ සමුදයයි, අස්තංගමයයි, කියන එක නේ ප්‍රඥා විමුක්තියට ඇවිල්ලා තියෙන්නෙ කියලා ඒක පෙන්වා දෙනවා. එහෙම නම් අපි අර චූල සුඤ්ඤතයේ අපි පැහැදිලි කරගන්නවා මේ පැත්තේ එළියේ ඉන්නේ නන්දිය, පුරුක් දොළහ තියෙන්නේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා ඉඳන්, ඒ පටිච්චසමුප්පාදයෙ link දොළහ. මෙතන පෙන්නනවා සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. ප්‍රඥාව විසින් කියනවා. එතකොට මෙතන නන්දිය මගින් ඇති වෙන්නේ මොකක් ද මේ? මේ රිට. නොපවතින දෙයක්. එතකොට මේක අරිය වූ සංකල්පය මගින් පහ කරනු ලබනවා. කොහොම ද පහ කරන්නේ?
අපි පෙන්නුවේ සළායතන විභංගයේ, ඊයේ පෝතලියේ එහෙම කිව්වේ. ඒකේ පෙන්වා දෙන අයුරින්. ගෘහස්ථිතව දොමනස්සය, පුටුව කැඩිලා තියෙනවා. ඒක නොපවතිනවා. ගෘහස්ථිතව සොමනස්සය. අන් අය මත යැපී පවතිනවා. Stock market එක ගන්නකෝ. එය නොපවතිනවා. ගෘහස්ථිතව උපෙක්ඛාව. ඉහත නොපවතින දේ ඉවසනවා. ඒකයි තියෙන්නෙ. එතකොට එහෙම නම් මෝහ වෙනවා. නමුත් එම ධර්මයෝ පවතින්නේ නෑ.
එතකොට එහෙම නම් නෙක්ඛම්මය වෙනවා. නෙක්ඛම්මසිතානි, දොමනස්සානි සොමනස්සානි උපෙක්ඛානි. ඒ විදිහට අපි පැහැදිලි කළේ. ඉතින් එතනින් ඉවත් කරන්නේ නෑ නේ. එතනින් හතර වෙනි ධ්‍යානයට ගිහිල්ලා එතනින් නවතින්නේ නැතිව යනවා ආකාසානඤ්චායතනයට. එතනින් විඤ්ඤාණඤ්චායතනයට. ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. එහෙම ගිහිල්ලා අන්තිමට නිරෝධයට ගිහිල්ලා. මේවා ඔක්කෝම සකස් කරපු දේවල්. අතම්මයත කියන දේ කියන එකට ම යනවා. එතකොට නිබ්බානය සාක්ෂාත් කරනවා. සාක්ෂාත් කරනවා කියන්නේ මොකක් ද? ඒක පමණක් පවතින බව දැනගන්නවා. අනිත් ඒවා එකක්වත් පවතින්නේ නෑ. ඒකයි නිර්වාණය සාක්ෂාත් කරනවා කියන්නේ.
එතකොට මෙතන අමතක කරන්න එපා, අපි පටන් ගත්තේ මුදිතා චෙතො විමුක්තිය. මුදිතා අප්‍රමාණයට නේ අර තුනේ තියෙන්නේ. කිව්ව කාරණා තුන. චෙතො විමුක්තිය, දළපැරකුම්, ඉවතලන ලද දෙයක් නැවත ගන්නේ නෑ, තණ්හාව ඉවත ලා දැම්මා, ගන්නේ නෑ. පුටුව කැඩුණා කිව්වා, ඒක පැත්තකට දැම්මා. ආපහු කැඩිච්ච පුටුවට එන්නේ නෑ. තේරුණා ද කියන එක? සළායතන විභංගයේ අනුපිළිවෙළට තමයි. මේක අතහැරියා නම් මෙය නිසා මෙය පහ කළ යුතු ය කියලා අතහැරියා නම්, අතහැරිය එකට අපි ආපහු එන්නේ නෑ. දළපැරකුම් විරිය එතන හොඳට තියෙන්න ඕනෑ. ඒක ම තමයි මේ පෙන්නන්නේ, ලස්සනට දෙක එක්කහු වෙලා එනවා.
ඒක තමයි මං කරපු භාවනාව.