ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ සතර ඉද්ධිපාද ධර්මයන්. ඒ ධර්මයන් අරි අට මඟ සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. මේක අර කරුණා චෙතො විමුක්ති භාවනාවේදි සඳහන් කරන කාරණා ටික නේ.
යම් ඉද්ධිපාද ධර්මයක් වේ ද එහි නොසැල් වී පවතින ස්වභාවය අන්තර්ගතය. කුමකින් නොසැල්වීම ද? ලෝභ, දෝෂ, මෝහ ධර්මයන්ගෙන් නොසැල් වී පැවතීම යැයි පැවසිය යුතුයි. කෙසේ ද? ලෝභයෙන් සෙලවෙන්නේ නම් විමුක්තියක් නැත. දෝෂයෙන් සෙලවෙන්නේ නම් විමුක්තියක් නැත. මෝහයෙන් සෙලවෙන්නේ නම් විමුක්තියක් නැත. ඉද්ධිපාද ධර්මයෝ තුළ විමුක්තිය ඇත. කෙසේ ද? යම් වස්තුවක් ආලම්බනය කිරීමක් එහි නොමැති නිසා ය. ඇලුම් කටයුතු ආලම්බනය කියලා එහෙම අපි බලලා තියෙන්නේ. උදාහරණ වශයෙන් චිත්ත ඉද්ධිපාදය බලමු.
ඊයේ සාකච්ඡා කළ අයුරෙන් චිත්ත ඉද්ධිපාදය ඇත්තේ නම් 50% පාර හා 40% පාර ඉවත් කරන බව දනිමු. එසේ දිට්ඨි අනුසය හරහා රූප ස්පර්ශයක් හෝ විරිය ඉද්ධිපාදය මගින් ඉවත් කරන රූප හෝ නැවත ගැනීමක් නැත. එසේ නම් සියලු වස්තූන් කෙරෙහි ආලම්බනයක් නැත. එමනිසා විමුක්තිය ඇත. ඔන්න ඔය point එකේ කෙනෙක් කල්පනා කරන්න ඕනෑ ඇයි 50% පාර ගැන මෙතන කතා කරන්නේ නැත්තේ. ඒ 50% පාරයි, රූප ස්පර්ශයයි ගැන කතා කරන්නේ නැත්තේ, ඒක කරලා ඉවරයි. ඇයි, චිත්ත සමාධිය කියනවා, රාග සල්ලය නසනව නේ. චිත්ත සමාධිය විවෘතයි නේ. දැන් මේ ඉද්ධිපාදය ගැන නේ මේ කතා කරන්නේ. ඒක වෙලා ඉවරයි.
අරි අට මඟින් කෙසේ සියලු වස්තූන් කෙරෙහි ආලම්බනයක් නොවන අයුරින් ඉද්ධිපාදයෝ පෝෂිත කරයි ද? එය ආර්ය වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන පස් ධර්මයන් මගින් පවත්වනු ලබයි. ආර්ය වූ සම්මා දිට්ඨියේ ඇති ප්‍රඥාව මගින් සියලු රූප ඉවතලයි. එය ඵල චිත්තය මගින් ඇති වේ. ආර්ය වූ සම්මා සංකප්පය මගින් නන්දිය මගින් ඇති කරන්නේ, “නොපවතින දෙයක්” නිසා, පහ කරයි. ප්‍රඥාව මගින් පහ කරන ලද රූප නැවත නොසොයයි. හොයන්නේ නෑ.
එතකොට අපිට තේරෙනවා මේ ආර්ය වූ සම්මා සංකප්පය බොහොම ගැඹුරට එතන යනවා කියලා. ඉතින් ඕක කෙනෙකුට යන්න පුළුවන් ගොඩාක් දුරට අර සළායතන විභංග සූත්‍රයේ දී අපි පෙන්නුවා නේ, අර ගෘහස්ථිතව තියෙන එක, සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් බඩුවට යනවා කියලා. අපි පැහැදිලි කිරීම කියන එක කළා. එතකොට එතන ගැඹුරකුත් පේනවා.
තුන් වෙනියට ආර්ය වූ සම්මා වාචා මගින් රූප සෙවීම සඳහා කරන්නා වූ වචී සංඛාරයන්ගේ විරමණය ඇති කරයි. වේරමණී කියන්නේ අපි. Abstaining from, refraining from කියලා කියන්නේ. ආර්ය වූ සම්මා කම්මන්ත මගින් රූප සෙවීම සඳහා කරන්නා වූ කාය සංඛාරයන්ගේ විරමණය ඇති කරයි. ආර්ය වූ සම්මා ආජීව මගින් රූප සෙවීම සඳහා කරන්නා වූ චිත්ත සංඛාරයන් මාන නොවීම මගින් ම විරමණය ඇති කරයි. මෙසේ ආලම්බනය නොවෙයි. ඔය ආර්ය වූ සම්මා වාචා, සම්මා කම්මන්ත කියනකොට ඒක අර සාමාන්‍යයෙන් පාණාතිපාතා වේරමණී කියන එක නෙමේ කියන්නෙ. ඒකේ තියෙනවා නේ “කතමා ච භික්ඛවෙ සම්මා වාචා අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යා ඛො භික්ඛවෙ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරිය මග්ගං භාවිතො චතුපි වචී දුශ්චරිතෙහි ආරති, විරති, පටිවිරති වේරමණී” ඒ විදිහට නේ කියන්නේ. එතකොට ඔය අදහස තියෙන්න ඕන. එතකොට මේක තමයි භාවනාවට තියෙන්නේ.
මේ භාවනාවේදි තමන් යන්න ඕන අර කරුණා චෙතො විමුක්තියට. අපි දන්නවා නේ, ඒ රූපයකට වෙනස් වීමක් කරනවා නම් අපිට මෙත්තාවක් නෑ. ඒ වාගේ ම තමයි සංස්කාරයට වෙනසක් කරනවා නම් අපිට උපෙක්ඛාවක් නෑ. එතකොට, ඊළඟට රූපයි, සංස්කාරයි, ඒ දෙකේ වෙනස දැකලා අපි සඤ්ඤාවෙන් හඳුනාගෙන, ඒකට වෙනසක් කරනවා නම් මුදිතා අප්‍රමාණය කියන එක නෑ.
ඊළඟට අපිට පේනවා, අපි ඒක සාකච්ඡා කළා. එතකොට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර කියන ඒවා එකකට හරි reaction එකක් තියෙනවා නම්, අපිට කරුණා චෙතො විමුක්තියක් නැතෙයි කියන එක අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ විදිහට තමන්ගේ ඒක නැංවීම කියන එක කෙරෙන්න ඕන ඒ කාරණාව.
ඒ කාරණාව මේ විදිහට නංවලා ඉතින් ඊයේ භාවනාව එන්න ඕන. ඊයේ අපි කරපු භාවනාව. චිත්ත ඉද්ධිපාදය නේ බැලුවේ. ඒකේ බලලා 50% හා 40% කතාවට ඇවිල්ලා ඊට පස්සේ තමන් කල්පනා කරන්න ඕන, ඇයි මේ රහතන් වහන්සේ කිව්වේ මේ “පාරවල් දෙක විතරක් 50% පාරේ නැතුව 10% පාරයි 40% පාරයි විතරක්.” තමන්ට පෙනෙන්න ඕන, දැන් මෙයා මේ වෙනකොට චිත්ත ඉද්ධිපාදය කියලා කියන්නේ චිත්ත සමාධිය පහු කරලා, ඒක නිසා අර රාග සල්ලයෙන් ඇවිල්ලා රූප ස්පර්ශ කරන කතාව නෑ. එහෙම නම් චිත්ත සමාධියවත් නෑ නේ. එතකොට එහෙනම් ඒ පාර ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් තියෙනවා 10% පාරයි 40% පාරයි. ඒ දෙක ගැන තමයි විශේෂයෙන් පෙන්වලා දීලා තිබුණේ ඒකේ. ඒක දැන් වැටහෙනවා.
ඊට පස්සේ දැන් අපි මෙතන කතා කරනවා, මේ ආර්ය වූ සම්මා වාචාව කියන එක. එතකොට ඒකෙ දී තමන් තේරුම් ගන්න ඕන, මේ නිකන් පාණාතිපාතය ඉවත් කිරීම නෙවෙයි, අපි තේරුම් ගන්නවා දැන් වචී සංඛාරය ගන්නකෝ. මුසාවාදය නිසා ලෝභය. ඒක නිසා මම ඉවත් වෙනවා. පරුෂා වාච, පිසුණා වාච නිසා ද්වේෂය. අන්න ඒකයි පෙන්නන්නේ. මේ අරිය එකේ තියෙනවා අන්න පටිච්චසමුප්පන්න ගුණය. ඒ කියන්නේ මේක නිසයි මේක වෙන්නේ.
ඒක නිසා මම මේක අයින් කරනවා. පේනවා ද අලෝභ, අදෝෂ, අමෝහ තමයි මේ සනාථ කරමින් එන්නේ. අර දවස් 4 වැඩසටහනේ පෙන්නනවා නේ දස අකුසලයේ සම්බන්ධතාවය නේ ද?
එතකොට ලෝභ, දෝෂ, මෝහයත් එක්ක එන එක. ඒ වගේ මේකෙ අනිත් පැත්ත. දස කුසලය, අලෝභ, අදෝෂ, අමෝහ. මේක මම කරනවා නම් මට ලෝභ, දෝෂ, මෝහ, ඇති වෙනවා. අන්න ඒක දැනගෙන මේ පහ කිරීම. මෙතන හරි වෙනසක් තියෙනවා. එතකොට මේ ටික කරගෙන ගියා ම, ඉතින් අර මානය වෙලා තියෙන රූපය අයින් කළා ම, අන්න එහෙනම්, මේ වේදනා වාගේ, සඤ්ඤා වාගේ කොටස්වලටයි තියෙන්නේ. එතකොට ඒ මාන්නය කතාව යනවා. ඒ විදිහට මේ භාවනාව හරියට රත් වෙන භාවනාවක්. පරිස්සම් වෙන්න ඕනෑ.
ඒක තමයි මං කරපු භාවනාව.