ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මෙනෙහි කළේ, අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයෙකු විරජ්ජ වන්නේ කෙසේ ද යන්නයි.
අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයෙකු සියලු සඤ්ඤා දුක බව දන්නේ ය, දුක්ඛය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලා එහි දුක බව වැටහීම ඇති කරගෙන ඇත. තව ද දුක්ඛ නිරෝධය දන්නේ ය. එය එසේ වන්නේ, ප්‍රඥා විමුක්තියකින් තොරව අප්පණිහිත චෙතො විමුක්තියක් නැති නිසා ය. යමෙක් දුකත්, දුක්ඛ නිරෝධයත් මනා කොට දන්නේ නම්, ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි යැයි පැවසීම සුදුසු ය. කුමක් නිසා ද? එම ප්‍රඥාව මගින් පමා නොවන බැවිනි. දුක්ඛ නිරෝධය තුළ ඉහළ ම වූ සම්මා දිට්ඨිය ඇතුළත්ව ඇත. එය දුක නැති කිරීමට පමා නොවන ප්‍රඥාවක් වන්නේ ය. ඔහු විරක්ත ඒ කියන්නේ විරජ්ජ වෙයි. කෙසේ ද? මෝහය පහ කරන නිසා ය.
ඔහු කිසිදු සමාධියකින් ජීවත් වී සිටිය හැකි යැයි නොසිතයි. කුමක් නිසා ද? දුක බව දන්නා නිසා ය. දුක්ඛ නිරෝධය දන්නේ, දක්නේ, සියලු සමාධීන් පහ කරයි. මෝහය පහ කරන්නේ, සඤ්ඤාවන් දුක බව දන්නේ, එම සඤ්ඤාවන් නොගන්නේ, දෝෂ නොවේ. අදෝෂ වන්නේ අලෝභ වෙයි. මෙසේ ඉතා පහසුවෙන් ලෝභ, දෝෂ, මෝහ යන තුන් ධර්මයට ම ලෝභ නොවන්නේ විරක්ත වෙයි. මෙම අවස්ථාවේ දී ආශ්‍රව නැසූ රහතන් වහන්සේත් අප්පණිහිත චෙතො විමුක්ති සහගතව සිටින පුද්ගලයත් අතර වෙනසක් සොයා ගත නොහැක්කේ ය. ඒක තමයි භාවනාව.
ඉතින් මේ භාවනාව මම අද කළේ ඔය සතර ආහාර දුක්ඛයේ හතර වෙනි භාවනාව කරන ආකාරයට කරගෙන ගියා. මෙතැන දී ස්පර්ශය මගින් ඇති වන්නේ දුක බව මෙනෙහි කරනවිට උදාහරණය වශයෙන් ගත්තේ තථාගතයන් වහන්සේ පෙර දැක්ක ද, අද නොදකින්නේ ද, පෙර තථාගතයන් වහන්සේ දැක සතුටක් තිබුණා ද, අද එය නැති ද, මෙම ස්පර්ශය පැවැත්විය නොහැකි ය. එසේ ම රහතන් වහන්සේ පෙර දැක්කා ද, රූප සහිතව අද නොදකින්නේ ද, එම ස්පර්ශයෝ පෙර මෙන් ම පැවැත්විය නොහැකි ය. මෙහි දී නාම කොටස ද වෙනස් වී ඇති ය. පළමුව දකින අවස්ථාවේ දී නාම කොටස මගින් පවරන අගය අද දකින විට නැති ය. සඤ්ඤා ජරා.
මේ ආකාරයට බලා, ප්‍රතිලෝම වශයෙන් දුක බලන්නේ, ආකිඤ්චන සමාපත්තියේ කොටසට පැමිණෙන අවස්ථාවේ දී සිත නතර වුණා. අනාශ්‍රව වුණා. මෙහි දී සෝකය සිට දෝමනස්සයට පැමිණීම මනා කොට වැටහී තිබුණා. අර special එකේ ආයතන භාවනාවේ දී අපි සාකච්ඡා කළ අයුරින්, දෝමනස්ස සහගත සඤ්ඤාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ සෝක කරන ස්වභාවය. චිත්ත සංස්කාර බිඳෙන විට අපි සෝක කරනවා. බිඳුණා යැයි සෝක කරනවා. හැදුවත් බිඳේ යැයි අපි සෝක කරනවා. මේකේ reverse effect එක, ඒ කියන්නේ සෝකයේ ඉඳන් දෝමනස්සය විමසුවා. අන්න ඒක නිසා තමයි අනාශ්‍රව වුණේ. දැන් අපි දෝමනස්සයේ ඉඳන් දුක්ඛයට යන කොටස සිහි කරනකොට, ඒකෙ අපිට පේනවා ජරාවේ ඉඳන් ජාතියට, දෝමනස්සය ඉඳන් දුක්ඛයට, ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් උපායාසයට.
එතකොට ඔය ජාතියයි දුක්ඛයයි කියන එක අපි කල්පනා කළොතින්, දැන් මේ මනෝමය කායකින් ඉන්නවා මැරිලා, කාලා නැහැ වගේ දුක්ඛයකින් එයා ඉන්නේ. එතකොට එයාගේ අර කලින් තිබිච්චා වූ දේ එයාගෙ තියෙනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන්. අන්න එහෙනම් එතන ඉඳන් බලාගෙන එන්න ඕන මේ උපායාසයට එන එක. ඒ කියන්නේ පෙර ශරීරයත්, ඒ කියන්නේ body එක. මේ කය වේවා, බ්‍රහ්ම කාය වේවා, පැවතීම නිසා, එහෙම නැත්නම් සඤ්ඤාවෙන් හදපු කය වේවා, ඒ පැවතීම නිසා ඇති වූ අත්ත ස්වභාවය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ ඇත. එම විනාස වූ ධර්මයන්ට ගැළපෙන රූප, අරූප භව සොයනවා. පෙර දේවල් හොඳ වුණා නම්, පැවතුණා නම්, අද අලුත් භවයක් සෙවීමට අවශ්‍ය නොවේ.
තව ද කවදාවත් විනාස වූ ධර්මයට, ඒ කියන්නේ මනසේ තිබිලා විනාස වූ ධර්මයන්ට ගැළපෙන රූපයක් සොයා ගත නොහැක. උදාහරණ වශයෙන් අනුරාධපුර නගරයේ ඉඩම් සෙවීම ගත හැකි ය. එසේ නම් කිසිම ලෝකයක අත්ත ධර්මයට සාධාරණ වූ උත්පත්තිය ලබාගත නොහැකි ය. කුමක් නිසා ද සඤ්ඤා ජරා වී ඇති නිසා ය. එමගින් ඇති වූ ථීනමිද්ධ ස්වභාවය ඇත්තේ, මෝහය මගින් තීරණ ගැනීමට වී ඇත. මෙය දන්නේ, දක්නේ, අප්පණිහිත චෙතො විමුක්තිය විය.
ඉහත සඳහන් කළ පරිදි අප්පණිහිත චෙතො විමුක්තිය මගින් මෝහය පහ කරන්නේ, මිද්ධ සහිත සඤ්ඤා නොගන්නේ, අදෝෂ වීමත් එමගින් අලෝභ වීමත් කිසිදු ධ්‍යාන තලයක් අල්වා නොගැනීමත් වැටහෙනවා.
ඒක තමයි මම භාවනාව කළ විදිහ. ඒක තමයි භාවනාව.