ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, විභව තණ්හාව. යම් විභව තණ්හාවක් වේ ද, එය තුළ ඇත්තා වූ ධර්ම කාරණා දෙකක් යම් විමුක්තියක් මගින් පහ වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි. කුමන කාරණා දෙකක් ද?
ඔය “ආරොග්‍යපරමා ලාභා” යන ගාථාවෙන් දැක්වෙන පරිදි, නිරෝගී බව පරම ලාභය බව දැන ගැනීම එක කාරණයකි. ඒ ගාථාව ඔය මාගන්දිය සූත්‍රයේ තියෙනවා. 75 වෙනි සූත්‍රය. මජ්ඣිම නිකායේ. “ආරොග්‍යපරමා ලාභා, නිබ්බානං පරමං සුඛං, අට්ඨඞ්ගිකො ච මග්ගානං, ඛෙමං අමතගාමිනන්ති” කියලා.
එතකොට ඒ ගාථාව ගැන තමයි ඒ පළවෙනියට කිව්වේ. ඊළඟට දෙවෙනි කාරණාවට පෙන්නනවා සංස්කාර පච්චයෙන් විඤ්ඤාණ ඇති වෙන බව දැනීම සහ දැකීමත්, ඇති වන්නා වූ විඤ්ඤාණයෝ දුක බව දැන එහි යම් කලකිරීමක් වේ ද, මේක දෙවන කාරණයයි කියලා පෙන්නනවා.
පළවෙනි කාරණය විමසලා බලන්නේ, ඒ මාගන්දිය සූත්‍රයේ දැක්වෙනවා, ඔය කුෂ්ට රෝගියෙක්, ඒක සුව වීමෙන් පසුව යම් ධ්‍යාන තත්වයකට පත් වූයේ ද, එම ධ්‍යාන තත්වය ද රොගතො, ගණ්ඩතො, සල්ලතො යනුවෙන් දන්නේ, දක්නේ, අරිහත් ඵල චිත්තයට පත් වීම වන්නේ ය. ඉතිරිව ඇත්තා වූ, ශේෂ නොවූ, යම් සංස්කාරයක් වේ ද, එම සංස්කාර මගින් ම ඇති වන්නේ දුක ම බව දන්නේ, දක්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. ඉතින් මේක තමයි භාවනාව.
ඉතින් මේක කෙනෙකුට පැහැදිලි වෙනවා, ඊයේ කරපු භාවනාවත් එක්ක, අර අවසානයට කෙරෙන කොටස නේ කෙරෙන්නේ රොගතො, ගණ්ඩතො, සල්ලතො, කියලා. ඉතින් ඒ අනුව ඉතින් තම තමන්ගේ ඵල චිත්තයන් ඒ විදිහට නංවලා කරන්න පුළුවන් විදිහක්. අනිත් අතට ගත්තහම ඉතින් මේ මාගන්දිය සූත්‍රය කෙනෙක් කියෙව්වොත්, ඔය ගාථාව බුදුහාමුදුරුවෝ එතන පෙන්නන විදිහට.
ඉතින් ඒක ඔය අවසානයට බැලුවොත් ඒකේ පෙන්නනවා, බුදුහාමුදුරුවෝ පෙන්නනවා “යම් කලක පටන් මාගන්දිය, තෙපි ධර්මානුධර්මයට බසින්නාහු ද, ඒ දවස පටන් මාගන්දිය තෙපි, මොහු රෝගයෝ ය, ගණ්ඩයෝය, සල්ලයෝ ය. ඒ වගේ ම මේ රෝගයෝ, ගණ්ඩයෝ, සල්ලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ, භව නිරෝධයෙන් ජාති නිරෝධය, ජාති නිරෝධයෙන් ජරා, මරණ, දුක්ඛ, දෝමනස්ස සෝක, පරිදේව, උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සියලු දුක්ඛ රාශීන්ගේ නිරෝධය වේ කියලා තමා ම දන්නවා ය, දකිනවා” ය කියලා බුදුහාමුදුරුවෝ ඒ මාගන්දිය සූත්‍රයේ අවසානයට පෙන්නනවා.
ඉතින් මාගන්දිය සූත්‍රය දන්න කෙනෙකුට, ඒක හොඳට කියවලා බැලුවම, මේ කාරණා දෙකත් එක්ක ඉතින් බොහොම හොඳට භාවනාව කෙරෙනවා. ඉතින් මේක අර අපි හිතමු, හත් වෙනි ධ්‍යානයට වාගේ ගියා කියලා. මේ දේවල්, අසූචි මගේ නෙමෙයි ආදී වශයෙන් අරගෙන, ක්‍රමයකට හත් වෙනි ධ්‍යානයට එහෙම ගියාට පස්සේ ඒ සඤ්ඤාවටත් රොගතො, ගණ්ඩතො, සල්ලතෝ කියන එක භාවිතා කළහම, ඉතින් ඒ පුද්ගලයාගේ සිත නතර වෙලා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා, වෙනවා කියන එක තියෙනවා. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් එළියට එනකොට පේන රූප තියෙනවා නේ. අන්න ඒකටත් රොගතො, ගණ්ඩතො, සල්ලතො කියලා ඔය විදිහට ගන්නවා නම් නැවතත් ඉතින් ඒ තත්වයට ම යනවා. ඒ විමුක්ති කියන ස්වභාවය ම පවතිනවා. ඉතින් ඒ විදිහට ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.