ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය වඩන්නේ, ඉතා ඉක්මනින් නිර්වාණය සාක්ෂාත් කරන බව තථාගතයන් වහන්සේ පවසනවා. මෙය කෙසේ සිදු වන්නේ ද?
පළවෙනියට කායානුපස්සනාව වඩන අයෙකු, රූපයේ සමුදය අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැනගන්නවා. කෙසේ ද? පළවෙනියට පෙන්නනවා, සමාධිභාවනා අර්ථයෙන් සමුදය අස්තංගමය දැනගන්නවා. දෙවනියට පෙන්නන්න පුළුවන් ආස්වාදය, ඒ කියන්නේ satisfaction එක. රූපය නිසා යම් සුඛයක් සොම්නසක් වී ද, එය මෙපමණ යැයි තුලනය කර දැනගන්නවා. ඉතින් ඕක පෙන්නනවා ඔය මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ, ඒ රූපය නිසා ඒ සුඛය කියන එක, අර වර්ණය නිසා ඇති වෙනවා, කියලා බුදුහාමුදුරුවෝ අවුරුදු දාසයක ගෑනු ළමයෙක් අරගෙන විස්තර කරලා පෙන්නනවා. ඊළඟට ඒ සූත්‍රයේ ම, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ මජ්ඣිම නිකායේ පෙන්නනවා ඒ තුන් වෙනි කාරණේට, ආදීනවය කියන එක. ඒක ඇවිල්ලා මේ danger එක කියන එක. රූපය වෙනස් වෙනවා. ජරාවට පත් වෙනවා. පෙර සුභ වූ වර්ණය අතුරුදහන් වෙනවා.
ඊළඟට පෙන්නන්න පුළුවන් හතර වෙනි කාරණේ හැටියට, නිස්සරණය කියන එක. ඒක, කාරණා පහෙන් දැන් අපි පළවෙනි කාරණාවට ගත්තා නේ සමුදය අස්තංගමය දෙකක් කියලා. ඒක නිසා දැන් හතර හැටියට පෙන්නන්න පුළුවන් නිස්සරණය. Escape. ඒ රූපයෙන් යම් ඉවත් වීමක් වේ ද, එයයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා, රූපයේ නිස්සරණය කිව්වහම, “යො භික්ඛවෙ රූපෙසු ඡන්දරාග විනයො, ඡන්දරාග ප්‍රහානං.” ඒක තමයි රූපයේ නිස්සරණයයි කියනවා.
එතකොට වේදනානුපස්සනාව වඩන්නේ, ඒ පළවෙනියට අපිට පෙන්නන්න පුළුවන්, සමාධිභාවනා අර්ථයෙන් සමුදය අස්තංගමය දැනගන්නවා. එතකොට කාරණා පහෙන් පළවෙනි දෙක අපි බැලුවා. දෙවනියට පෙන්නනවා, වේදනාවේ ආස්වාදය කවරේ ද? ධ්‍යානයෝ සහ ධ්‍යාන ඵලයන් නිසා ඇති වන්නා වූ, සුඛය හේතු කොටගෙන, කිසිවෙකුටත් හානි කිරීමට නොසිතයි. වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බව, පරම කොට ඇති බව තථාගතයන් වහන්සේ පවසනවා. ඉතින් අර සූත්‍ර දේශනාව බැලුවා නම්, ඉතින් ඕකේ පෙන්නනවා මේ පළවෙනි ධ්‍යානයට එහෙම ගිහිල්ලා, ඒ ගිය පුද්ගලයා ඒ කාටවත් දුක පිණිස හිතන්නේ නෑ කියලා. ඒ අන් අයට දුක පිණිස හිතන්නේ නෑ, දෙපැත්තට ම දුක පිණිස හිතන්නේ නෑ, ඒ විදිහට ඒ නිදුක් වූ වේදනාව ම විඳිනවා කියලා. එතකොට මේකේ මේ හතර වෙනි ධ්‍යානය දක්වා ම බුදුහාමුදුරුවෝ ඔය විදිහට දේශනා කරනවා.
ඊළඟට වේදනාවන්ගේ ආදීනවය කවරේ ද? එතකොට එතෙන්දි පෙන්නනවා, මේ වේදනාව අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, මේ වේදනාවන්ගේ ආදීනවයයි කියලා. ඊළඟට හතර වෙනි කාරණේට ගන්න පුළුවන්, වේදනාවන්ගේ නිස්සරණය කවරේ ද? එතෙන්දි පෙන්නනවා මේ වේදනාවන්හි යම් ඡන්දරාග විනයෙක්, ඡන්දරාග ප්‍රහාණයෙක් වෙනවා ද, ඒ වේදනාවන්ගේ නිස්සරණයයි කියලා.
දැන් මෙතන කාරණා දහයක් එනවා. ඒ කියන්නේ රූප ගත්තහම සමුදය අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කිව්වහම පහයි, වේදනාවේ සමුදය අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කිව්වහම පහයි, දහයයි. මේ දහය මනා කොට දන්නේ නම්, ඒ පුද්ගලයා නිර්වාණය සාක්ෂාත් කරනවා. මේක සිදු වෙන්නේ කෙසේ ද? මෙම කාරණා දහයෙන් සමන්නාගත පුද්ගලයාට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය ඇති වන බැවිනි. එතකොට එහෙම නම් අර විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය භාවනාවේ හැටියට ම ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි භාවනාව හැටියට තියෙන්නේ.
ඉතින් මේ භාවනාව මම කරනකොට, මේ රූප කොටස සම්බන්ධ කරලා සිහි කරනකොට ම විමුක්ති ස්වභාවය ඇති වෙලා සිතත් නතර වුණා, නිරෝධය කියන එකත් ඇති වුණා. ඉතින් මේ භාවනාව බලලා මං බුදුපියවරුන්ට වැඳ නමස්කාර කරනකොටමත් මට ඒක ඇති වුණා. ඉතින් මං මේ භාවනාවෙදි, මේ ඇහුවා රූපයේ ඡන්දරාග විනය කියන එක බුදුපියාගෙන් විමසුවා. ඉතින් ඒකේ අපි දන්නවා ඔය උඩ triangle එක, ගිද්ධිලෝභ, රූප, ස්පර්ශ, වේදනා. ඒකේ අපි දන්නවා ගිද්ධිලෝභයේ ඉඳන් රූපය දක්වා ඡන්ද. එතකොට ඒ උඩ කොටස construction නැති වීම, ඒක තමයි ඡන්ද කොටස පහ වෙනවා කියන්නේ. ඊළඟට පහළ කොටස අපි දන්නවා ගිද්ධිලෝභ, වේදනා, ජාති. ඒකේ රාගය අපි ලකුණු කරන්නේ ජාතිය ළඟ. එතකොට පහළ කොටස maintenance නැති වීම, රාග කොටස පහ කිරීම ලෙස සලකන්න ඕනෙ. ඒක තමයි ඡන්දරාග විනය කියන එක ඔතෙන්ට එන්නේ.
ඊළඟට වේදනාවේ ඡන්දරාග විනය ගත්තහම, අර වේදනාවට එන්නා වූ පාරවල් තුන. උඩ 10% දාන එක, ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන එක, ඒක ඇවිල්ලා ඡන්දය කියන කතාවට අයිති වෙනවා. ඊළඟට රාග කොටස අර 90%. ඒ කියන්නේ දිට්ඨි අනුසය පාරයි, ඒ වගේ ම පකප්ප පාරයි, ඒ දෙක කියන එක. මේක හරි පුදුමාකාර භාවනාවක්. ඔය කාරණා දහය නිකන් සිහි කරන්න ගත්තා ද, නිකන් ම ඔය තත්වය ඇති වෙලා නිරෝධය පවා ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.