ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව වඩන අයෙකු නාම කොටසේ සමුදය අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැනගන්නවා.
කොයි විදිහට ද දැනගන්නේ? පළවෙනි එකට, සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන් සඤ්ඤාවන්ගේ, සමුදය අස්තංගමය දැනගන්නවා. දෙවනුවට ආස්වාදය, චෛතසිකවල ආස්වාදය දැනගන්නවා. රාග සහිත සිත, රාග සහිත බව දැනගන්නේ, කාමයෙහි වේමත්‌තතාවය මත එහි ආස්වාදය දැනගන්නවා. වීතරාග, වීතමෝහ, වීතදෝස චිත්තයන්ගේ ආස්වාදය විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය මෙන් දැනගන්නවා. තුන් වෙනුවට ආදීනවය, danger එක, චිත්තයාගේ යම් මිදීමක් නොවන අයෙකුට එම චිත්තය මගින් මැඩගැනීම නිසා යම් උවදුරක් වේ ද, එයයි. උදාහරණ වශයෙන් චේතනා මගින් වන අනාගත පරියුට්ඨානයෝ ගත හැකි ය. මෙසේ සංසාරයේ සැරිසැරීම සිදු වෙනවා. හතර වනුවට නිස්සරණය, escape. චිත්තයාගේ යම් ඡන්දරාග විනයක්, ඡන්දරාග ප්‍රහාණයක් වේ ද එය නිස්සරණය වේ. කෙසේ ඡන්දරාග විනය වේ ද? ප්‍රහාණය වේ ද? සංකල්පයන්ට ඇති රාගය ඉවත් කළ යුතු ය. ඡන්දය නැති විය යුතු ය. එනම් චිත්තය තුළ සමාදන් වී ඇති ධර්මයෝ මුලින් ම උපුටා දැමිය යුතු ය. මෙම ධර්මයෝ නීවරණ ලෙස හඳුන්වයි. බොජ්ඣඞ්ගයෝ වැඩිය යුතු ය.
මේ කාරණා හතරෙන් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා. ඉතින් ඔය කාමයන්හි වේමත්‌තතාවය එහෙම, ඒක තමයි භාවනාව.
ඔය කාමයන්හි වේමත්‌තතාවය ඔය නිබ්බෙධික සූත්‍රයේ පෙන්නලා දීලා තියෙනවා, අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්දි පෙන්නනවා මේ රූපාලම්බනයේ කාමය එකක්, ශබ්දාලම්භනයේ කාමය තව එකක්, ඔය විදිහට ගන්ධ, රස, ස්පර්ශාලම්බනයේ කාමය තව එකක් කියලා. ඒක තමයි කාමයන්හි වේමත්‌තතාවය කියන එක.
ඉතින් මේ භාවනාව ආරම්භයේ ඉඳන් ම සමාධිය උග්‍රව තිබුණා, අර සඤ්ඤාවේ සමුදය, අස්තංගමය බලනවා නේ. එතකොට, ඒ තත්වයට පැවතිලා තියෙනවා. ආදීනවය මෙනෙහි කරනකොට, චිත්තය අල්ලාගෙන සිටින ධර්මයන්ගෙන් ඉවත් වෙලා විශාල වෙනවා. ආකිඤ්චඤ්ඤායතන වැනි ධ්‍යාන තලයන්හි විශාල වී පැතිරෙන බව වැටහෙනවා. එනම් යම් රූප, වේදනා වැනි දෙයකින් ප්‍රමාණ වී හැකිළී තිබෙන චිත්තයක්, එම ලෝකයන්ගේ කිසිවක් නැති බව වැටහී, අතහැර, වෙන ලෝකෙක යමක් සොයන්නාක් මෙන් විඤ්ඤාණය විශ්වයේ පැතිරීම කියන එක සිද්ධ වෙනවා. ඒක හරී ලස්සනට තමන්ට තේරෙනවා, ඒ අවස්ථාවේ දී.
නිස්සරණය දන්නේ දක්නේ, එම පැතිරුණා වූ චිත්තයට අල්ලා ගත හැකි දෙයක් නොවන බව දනියි, දකියි. එනම් යම් සංකල්පයකට පෙර රාග වී තිබුණ ද, එහි ගත යුත්තක් නැති බව, මෙහි ස්ථාවර වෙනවා. මෙසේ විශාල වී විශ්වයේ පැතිරුණා වූ චිත්තයට, කිසිවක් සමාදන් නොවන්නේ, අකුප්පා චෙතො විමුක්තිය අප්‍රමාණ වන බව හොඳින් වැටහෙනවා. ඒක තමයි මං කරපු භාවනාව. පුදුමාකාරයි ඒ භාවනාව.