ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අපි මේ දවස්වල කරගෙන ආවේ භාවනා වැලක්. ඒක පටන් ගත්තේ මේ සංස්කාර, විඤ්ඤාණ කියන ඒවා trust කරන්න බෑ. පිට කෙනෙකුට වැඩක් කිව්වා ම, ඒ පුද්ගලයා කරන දේ අපිට විශ්වාස කරන්න බැහැ වගේ ම, තමන්ගේ සංස්කාරත් අනත්තා. Trust කරන්න බැහැ කියන එක පිට පුද්ගලයෙක් වගේ ම බැලුවා. ඊට පස්සේ අපි බැලුවා, කොහොම ද ඔය සංස්කාරයන් කියන ඒවා ඇති වෙන්නේ කියලා. එතනදි අපි තේරුම් ගත්තා විඤ්ඤාණය කියන එක යම්කිසි විදිහකට අර චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා ආවා නම්, ඉතින් එතනින් ඊට පස්සේ නිත්‍යයි කියන එක ඇති වෙලා, එතනින් දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා දිට්ඨි සල්ලයෙන් අර රතු පථය හරහා අපි ආපහු සඤ්ඤාව සනාථ කරනවා කියලා. එතනින් අපි තේරුම් ගත්තා ඒ සඤ්ඤාව සනාථ කරලා ඉතින් වට 8ක් වන විට වම් අත පැත්තට ම ඇවිල්ලා, ඒ වෙන විට සඤ්ඤාව සුඛ වුණා, ඒ වගේ ම දෙවනුව වේදනාවත් සුඛ බවට පත් වුණා. එතකොට එතනදි අපි තේරුම් ගත්තා, මේක නිසා අහංකාරය කියන එක. අහංකාරය නිසා තමයි මේක ඇති වන්නේ කියලා. ආයිත් අපි තේරුම් ගත්තා මේ අහංකාරය නිසා අත්තානුදිට්ඨිය මගින් තමයි ඒ මුල කතාව පටන් ගත්තේ කියලා.
එතකොට දැන් අපිට තේරෙනවා, මේ අහංකාරය කියන එක. ඊයේ භාවනාවෙදි අවසානයට තේරුම් ගත්ත දේ ඒකේ අහංකාරය එන්නේ භවය ද, භෝගය ද, වෝකාරය ද නිසා කියලා, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ විදිහට ගත්තු දේ. එතකොට ඒකෙදි අපි තේරුම් ගත්තා, ඒ තුන් ධර්මයන්ගේ, භවය, භෝගය, වෝකාරය කියන තුන් ධර්මයන්ගේ යම්කිසි විෂමතාවයක්, inequality එකක් තියෙනවා නම්, එමනිසා තමයි අහංකාරය වෙනවා කියන එක අපිට තියෙන්නේ. තමන්ගේ ගෙදර Benz කාර් එකක් තියෙනවා නම්, ඒ වාගේ හැම ගෙදර ම Benz කාර් නම් තියෙන්නේ එහෙම නම් අහංකාරයක් නෑ. තමන්ගේ ගෙදර විතරක් නම් ඇති වෙනවා. අන්න ඒ අර්ථය.
එතකොට එහෙම නම් අපිට පේනවා, මේ අහංකාරය වෙන්නේ රූපය නිසා හෝ සංස්කාර නිසා හෝ කියලා. ඔන්න ඔය විෂමතාවය නිසා. එතකොට අපිට පේනවා, රූපය නිසා විෂමතාවය අපිට පැහැදිලියි. Benz කාර් එක වගේ පේනවා. සංස්කාරය නිසා විෂමතාවය කෙසේ ඇති වේ ද? අන්න ඒක තමයි තේරුම් ගත්තේ, යම් සංස්කාරයකට මානයක් වන්නේ ද, එමගින් ම විෂමතාවය ඇති වෙනවා. දැන් හිඟන්නත් කනවා. අපිත් කනවා. අපි හොඳ මේසේ ඉඳගෙන කනකොට හිඟන්නා අර පැත්තක ඉඳගෙන කනවා කියලා හැඟීමක් තියෙනවා. හැබැයි දෙන්නම කරන්නේ කන එක. ඔච්චරයි නේ තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මානය. මම හිඟන්නා වගේ නෙමෙයි කියලා.
එතකොට මේක පැහැදිලි වෙනවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේදි. ඒකෙදි වෙන් කරන්න හැකි සංස්කාරයක් නෑ. පලාස කරන්න සංස්කාර දෙකක් ඇත්තේ නෑ. එතකොට එහෙම නිසා විෂමතාවය පැහැදිලි වෙන්නේ නෑ එතන. ඒ වුණත් එහි යම් ආකාර වූ විෂමතාවයක් තියෙනවා. ඒක තමයි හොඳින් නිදා ගත්ත පුද්ගලයයි, එසේ නොවූ පුද්ගලයයි අතර වෙනස කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. අර හොඳින් නිදා ගත්ත පුද්ගලයයි, සැරින් සැරේ ඇහැරිච්ච පුද්ගලයයි, අතර වෙනසක් තියෙනවා නේ. මෙයා කල්පනා කරන්නේ මට ඊයේ හොඳට නින්ද ගියේ නෑ. එයාට නින්ද ගිහිල්ලා. ඒ කියන්නේ මේ රූප ලෝකයෙන් පුළුවන් තරම් ඈත් වීම තමයි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ කියන ඒකේ තියෙන්නේ. අපි ඒක කලින් සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට මේ රහතන් වහන්සේ පෙන්නන්නේ, මානය අඩු ම අවස්ථාවේ තමයි මෙතන මේ සංස්කාරවල වෙනස කියන එක තේරුම් ගන්න කතාව. එතකොට ඒ මානය අඩු පුද්ගලයා තමයි මේ. මානය වැඩි පුද්ගලයන් එක එක ධ්‍යාන තලවල, ඒවායේ වෙනස තියෙනවා. දැන් පෙන්නුවේ ධ්‍යාන තලවල වෙනස තියෙනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ හොයාගන්න බැරි වුණත් එතනත් වෙනසක් තියෙනවා කියන එකයි පෙන්නුවේ. එතකොට රූප ලෝකයේ වෙනස රූප ලෝකවලින් හොයාගන්න පුළුවන්. ධ්‍යාන තලවල ඒකෙන් හොයාගන්න පුළුවන්. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ අර විදිහට. මේ විදිහට සංස්කාරවල විෂමතාවය කියන එක අපි දැනගන්න ඕන.
එතකොට දැන් අපි ඔය ඉස්සර භාවනා ටික කරපු එක්කෙනාට හොඳට ලස්සනට පැහැදිලි වෙනවා මේ ඔය 4 සලකුණ කියන එක. දෙවෙනි 4 සලකුණ. මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කතාවේ, මේ වෙනස සාකච්ඡාව භාවනාවට එනකොට ම මනස හරි ශාන්ත වෙනවා. පුදුමාකාර ශාන්ත ස්වභාවයකට ඒක පත්වෙනවා. එතකොට මේ දෙවෙනි 4 සලකුණට මනස යොමු කළා. ඒක ආපහු නැවතත් මතක් කරගන්නවා නම්, ඉතින් අපි දන්නවා ඕක යන්නේ “විරියො ච ඡන්දො, ඡන්දො ච චිත්තො, චිත්තො ච විමංසා” එතකොට මෙතන විරිය කියන එක ලකුණු වන්න ඕනෑ ඉදංසච්චය ළඟ. එතකොට අපි දන්නවා එතන රෝගී සඤ්ඤාව මගේ නොවන්න. ඊට පස්සේ පරාමාසය හරහා වම් පැත්තෙන්, අපි වේදනාව. එතෙන්ට අපි දානවා, ඡන්ද ඉද්ධිපාදය. එතකොට ඉන්ද්‍රිය සංවරය මගින් තමයි ඒක, නැති වෙන්නේ කියලා. ඊට පස්සේ පහළ භය අගතිය ළඟ, චිත්ත ඉද්ධිපාදය මගින් ඒක නැති වෙනවා. උඩ චේතනාව ළඟ විමංසා ඉද්ධිපාදය මගින් නැති වෙනවා කියලා.
එතකොට යම් සංස්කාරයක් වේ ද, එම සංස්කාරයන්ගේ වෙනස සංස්කාරය මගින් සාදන ලබන චිත්තය මගින් ම දැන ගත යුතු වන්නේ ය. චිත්ත ඉද්ධිපාදය ඇත්තේ නම් මෙය මනා කොට දැන ගත හැකි වන්නේ ය. කෙසේ ද? “චිත්තයේ යම් වෙනසක් වන්නේ ද, එය ද දැන ගැනීම චිත්ත ඉද්ධිපාදය මගින් ම වන නිසා ය. නිර්වාණයෙන් යම් පමණකට හෝ ඉවත් වීමක් වේ ද, එය චිත්ත ඉද්ධිපාදය මගින් චිත්තයේ ම සටහන් කරනු ලබයි.” මේ රහතන් වහන්සේගේ වචන. කුමක් නිසා ද? “යම් රෝගී සඤ්ඤාවක් මගේ යැයි ගත් අයකුට එම සඤ්ඤාව නිසා ම පලිබෝධ ස්වභාවය ඇත. මෙය චිත්ත ඉද්ධිපාදය මගින් හඳුනා ගැනීම වන්නේ ය.” මතක ද? අවිද්‍යා අනුසයෙන් චිත්තස්ස සම්පලිබොධො කියලා අපි බැලුවේ. චිත්ත ඉද්ධිපාදයේ වෙනස හඳුනාගෙන විමංසා ඉද්ධිපාදය මගින් රෝගී සඤ්ඤාවන් නොගන්නේ නම්, නිත්‍යභාවයක් ඇති නොවෙයි. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.
ඒ භාවනාවේ, අර අපි ඉද්ධිපාද ධර්මයන්ගෙන් කියන එක, ඒක හොඳට යන්න ඕන. තමන් ඉද්ධිපාදයන් කලින් වඩපු දේවල් භාවිතා කරන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අපි අර දන්නවා විරිය ඉද්ධිපාදය ගත්තහම එතන සමාපත්ති ධර්මයන් පහ කරලා නේ අපි කළා නේ ඉද්ධිපාද භාවනාවක් ඒ විදිහට, උපෙක්ඛා අප්‍රමාණයත් එක්ක නේ ද? එතකොට ඒ විදිහට අපිට ඒ ඡන්දය ඇති වෙලා. ඒ ඡන්දයෙන් අපි මෙතන මේ චිත්ත ඉද්ධිපාදයට ඇවිල්ලා. චිත්ත ඉද්ධිපාදයෙන් අපි ඒ තත්වයට අපි දන්නවා නේ අර රූපය නිසා ඇති වෙන්නා වූ 10% පාරත් කපලා නේ එතන චිත්ත ඉද්ධිපාදය වෙන්නේ. අර සමථ නිමිත්ත එහෙම භාවිතා කළේ. එතනින් අපි එනවා අර විමංසා ඉද්ධිපාදයට, සියලු සංස්කාරයන් පරිදේව වෙනවා කියලා තමයි විමංසා ඉද්ධිපාදය ඒවා අයින් කිරීම කියන එක කරන්නේ. එයා නොසැල්වී පවතිනවා, සංස්කාරයන් පරිදේව වෙනවා කියලා. ඉතින් අන්න ඒ point එකට ආවා ම ඉතින් තමන්ට හරියට අතීත භවයන් එහෙම පේනවා. නිරෝධයට යනවා. ඒක තියෙනවා. අපි පටන් ගත්තේ මේවා trust කරන්න බැරි සංස්කාර. ඊට පස්සේ අන්තිමට ඒවා මැරෙනවා කියලා. අනිත්‍යභාවය දක්වා ම එතෙන්ට එනවා. එතකොට ඒක බොහොම හොඳ භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්