ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒකෙ ඊයේ භාවනාවේ මතක ඇති අපි අර ආස්වාදය කියන එක තමයි බැලුවේ. එතකොට ඒ, ඒ ආස්වාදය අපි බලාගෙන ආවා, රූප වේදනා, ඒ විදිහට සංස්කාරයන්ගේ අර රජනීය ධර්මයන්ගෙන් සිත මුදවාලනවා කියලා.
ඒ වගේ ම විඤ්ඤාණයේ ආස්වාදයත්, ඒ විදිහට ම දත යුතුයි කියන එක කිව්වා. විඤ්ඤාණයෙන් යමක් දැනගන්නවා ද ඒක දුකයි. යමක් දැන නොගන්නේ ද, එය සුඛයි. කුමක් නිසා ද දැනගන්නා වූ යමක් වේ ද, එය දුකෙහි ඇතුළත් වන බැවිනි, කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට දැන් මේ භාවනාවේ දී, මම ඔන්න ඔය කොටස තමයි හුඟක් ම මෙනෙහි කළේ. විඤ්ඤාණයේ ආස්වාදය කියන එක. ඉතින් එතන බලාගෙන ගියහම, අපිට පේනවා මේ විඤ්ඤාණය කියන එක සකස් වෙන්නේ, අර නාමරූපයන් ඇති වෙලා. නාමරූප පච්චයා විඤ්ඤාණං, කියන එක තියෙනවා. විඤ්ඤාණ පච්චයා නාමරූපං එක, ඒක අනිත් පැත්තටත් යනවා. ඒ වගේ ම අපි දන්නවා, අර හය වෙනි සතිය එහෙම ලකුණු කරන්නේ, විඤ්ඤාණ ධාරාව ගිහිල්ලා අර දකුණු අත පැත්තට, පෙරළිලා පෙරළිලා යනවා, ජීවිත ඉන්ද්‍රිය වටා වෙන්නා වූ දේ.
එතකොට ඔන්න ඕක බැලුවට පස්සේ පේනවා, මේ විඤ්ඤාණය කියන එක, මැරිලා වැටෙනවා. පරිදේව වෙනවා. ඒ වගේ ම අපිට පේනවා, අපි බලලා තියෙනවා. ඔය විඤ්ඤාණ ධාරාව, ඔය පදුට්ඨමනසඞ්කප්පය දිගේ ඇවිල්ලා ඉතින් අපිට පේනවා මේ සෝකය කියන තියෙන තැනට තමයි, මේක එන්නෙ. පරිදේවයයි සෝකයයි. ඉතින් අපි ඕක දැනගන්නේ ඔන්න ඔය දේ, කැඩෙනවා බිඳෙනවා කියන එක තමයි අපි දැනගන්නේ. ඉතින් අන්න ඒ අවස්ථාව ඉතින් බලන්න ඕන හරියට අර කඞ්ඛී, විචිකිච්ඡති, කියලා අපි බලලා තියනව නේ භයභෙරව එකේ. අන්න ඒ අර්ථයෙන් කෙනෙකුට පේනවා. හදන විඤ්ඤාණයන් පරිදේව වෙනවා. එතකොට මේ තත්වයට ගිහිල්ලා ඊට පස්සේ කෙනෙක් කල්පනා කරනවා, මේ හදන්නා වූ විඤ්ඤාණය, ඒ අපිට trust කරන්න පුළුවන් ද කියන එක.
ඒ කියන්නේ කවුරුහරි කෙනෙකුට වැඩක් කිව්වා නම්, ඒ මනුස්සයා ඒ වැඩේ හරියට කරාවි ය කියලා අපිට විශ්වාස කරන්න බැහැ වගේ තමයි, විඤ්ඤාණය ගැනත් හිතන්න ඕන. අපිට trust කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
එතකොට දැන් එහෙම නම් මෙතෙන්දි පේනවා, හරියට කවුරුහරි කෙනෙක් ගෙයක් හදනවා. ඔය ගේ හදනකොට, සුභ වෙච්ච ලී, සුඛ වෙච්ච රාමු, ඔය වගේ ඒවා දානවා. උළුවසු වගේ ඒවා දානවා. ඉතින් ඔය විදිහට ගේ හැදුවායින් පස්සේ ගේ කඩාගෙන වැටෙනවා. ගේ කඩාගෙන වැටෙනවා නම්, ඊට පස්සේ අපිට දැනගන්න ඕන ද? මේ පුද්ගලයෙක් ගෙයක් හැදුවා ය. ඒ ගෙය කඩාගෙන වැටුණා ය කියලා, අපිට දැනගන්න ඕනකමක් තියෙනව ද? අපි දන්නවා මේක දුකක් ම තමයි තියෙන්නෙ. මළා, මැරිලා වැටුණා කියන එකයි.
ඉතින් මේ පෙන්නුවේ, අර සුභ, සුඛ, අත්තා, නිත්‍ය දිට්ඨි විපල්ලාස දොළහෙන් තමයි මේක හැදුවේ. ඉතින් ඒවා විපල්ලාස නේ. ඉතින් වෙන දෙයක් ඇත්තෙ නැහැ. එහෙම නම් මේක අපි දැනගන්න ඕනකමක් ඇත්තෙ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්තහම හිත නතර වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.