බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ සිහි කළා වූ ඒ ධර්මයෝ.
ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ, ඒ සිහි කළා වූ ඒ ධර්මයෝ ඒ විදිහට සිහි කළා. ඒ අතීත භවයන් කියන ඒවා බලලා, කලින් බලපුවා වූ ඒ අවබෝධය සහගතව සිහි කළා මේ පාණාතිපාතය වැනි දේවල් කරලා ගිහිල්ලා අපායේ වාගේ තැන්වල ඉපදෙනවා. ඒ වගේ ම ඒ ධ්‍යානයන්, භාවනාවන් කරලා ඊට පස්සේ ධ්‍යාන තලවල ඉපදෙනවා කියන එක. ඉතින් ඒ ධ්‍යාන තලවල ඉපදුණාම ඒ කාටවත් කරදරයක් කරන්නේ නැහැයි කියන එක තියෙනවා නම්, ඉතින් ඒකේ ආස්වාදය කියන එක තමන්ට තියෙනවා, චතුත්ථධ්‍යාන තලයක වාගේ තලයක. ඒ පාර එතෙන්දි ඒක චිත්තය තුළ ආස්වාදය කියන එකේ, ඒ සමුදය අස්තංගමය කියන එක එතන බලනවා.
ඊළඟට ඒකේ කල්පනා කරනවා දැන් මේ චිත්තය කියන එකේ ආස්වාදය, අපි දන්නවා විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියලා. එතකොට ඒවා කරන්නා වූ මේ සංස්කාරයන්ගේ ඒ රජනීය ධර්මයන්ගේ ඒ නිරෝධය කියන එක තමයි. එතනදි අපිට පේනවා මේ සංස්කාරවල තියෙන්නා වූ මේ ආස්වාදය කියන එක. එතකොට අපි ඒවායේ නිරෝධය, විඤ්ඤාණයෙත් ඒ විදිහට අපි බලනවා.
එතකොට එතනදි තමන්ගේ මනස ඒ තත්වයට ආවට පස්සේ, එතෙන්දි තමන්ට කල්පනා වෙනවා අර “එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො, සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති, තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති” කියලා.
අර විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා කියන එකට තමන්ගේ මනස ගමන් කරනවා. එතකොට අන්න ඒ වෙලාවෙදි තමන්ට තේරෙනවා නම් තමන් මේ රූපය නිසා යම්කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැයි කියන එක තියෙනවා ද, වේදනාව නිසා ප්‍රතිචාරයක් නොදැක්වීමක් තියෙනවා ද, සඤ්ඤා නිසා හෝ සංස්කාර නිසා හෝ යම්කිසි ප්‍රතිචාරයක් නොදක්වනවා කියන එක තියෙනවා ද, අන්න ඒ සියලු උපධීන්ගේ දුරලීමක් තියෙනවා ද, ඒක තමයි අර උත්තම වූ ආර්ය ත්‍යාගය, චාගාධිට්ඨානය කියන එක තමන්ගේ මනසට එනවා. එතකොට ඒකෙදි අපි ඔය කාරණා හතරෙන්, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර කිසි එකකට වෙනසක් නොදක්වා ඉන්නා වූ ස්වභාවය තියනවා. තමන්ට ඉහළ ම වූ ඒ ඵල චිත්තයන් තමන්ගේ නැංවිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේකේ සම්පූර්ණයෙන් ම නිරෝධයක් තියෙනවා ද එතන නිර්වාණයයි කියලා තමන්ගේ මනස පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.