ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ දී භාවනා කළ අයුරින් භාවනාව වැඩුවා. අතීත භවයන් සිහි කළා. පාණාතිපාතය කරලා අපායේ ඉපදීම ඒ වගේ ම ඒ ධ්‍යානයන් හෙම වඩලා ඒ හතර වෙනි ධ්‍යාන තලයේ ඉපදීම කියන ඒවා එහෙම සිහි කළා. ඊට පස්සේ මේ විදිහට ආදීනවයත් ධ්‍යාන තලවල ඇති ආස්වාදයත් කියන එක දුටුවා. එම ධ්‍යාන තලයේ ද කිසිවකුට හානි කිරීමට නොසිතන්නේ ඒ වේදනාවේ ආස්වාදය වන බව සිහි කළා. එවැනි චිත්තයක ආස්වාදය වන්නේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. මෙහි දී සංස්කාර ඉවතලීම සීලපාරිසුද්ධිපධානියඞ්ගය, ස්පර්ශ ඉවතලීම චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, සඤ්ඤා ඉවතලීම දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, රජනීය ධර්මයන්ගෙන් සිත මුදාලීම විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය විමසලා බැලුවා.
සිත ප්‍රභාස්වර වෙනවා. ඒ විමුක්තීන් ඇති වෙනවා. මෙහි දී දස අකුසලය නිසා කුම්මග්ග පටිසේවනයත් එමගින් ලෝභ, දෝෂ, මෝහ වීමත් සිහි කළා. දස කුසලය නිසා අලෝභ, අදෝෂ, අමෝහ වීමත් අරි අට මඟ සැකසීමත් සිහි කළා. මෙතනදි අනාශ්‍රව වුණා. එසේ නම් අනාශ්‍රව වීම හොඳ බව, නිපක, බුද්ධිමත් වීම හොඳින් වැටහුණා. විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා සිහි වුණා. “එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො, සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති, තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති.”
අරි අට මඟ මගින්, උපසමාධිට්ඨාන කිසිදු සංස්කාරයක් නොකරන්නේ නම් පමණක් සංස්කාර සමථ වන්නේ ය. උපධීන් සිහි කරන්නේ දස උපධි නිසා ඇති වන රූප, වේදනා, සඤ්ඤා, සංස්කාරවලට ප්‍රතිචාරය නොදක්වමී යන්න සිහි කළා. එතනදි පාණාතිපාතවල, සැලවීම්, සැලීම්, සෙලවීම් පෙර වූවා ද දැන් නොකරයි. ධ්‍යාන නිසා එමගින්, සැලීම්, සෙලවීම් පෙර වූවා ද, දැන් නොකරයි. මෙහි දී ලෝභය ප්‍රමාණ කරයි. දෝෂය ප්‍රමාණ කරයි, මෝහය ප්‍රමාණ කරයි යන්න මෙනෙහි කළා. ඉහත සඳහන් කළ සෙලවීම්, සැලීම්, ඉඤ්ජිතය නොවන්නේ නම් නිර්වාණය වන බව වැටහෙනවා.
යම් වේදනාවකට ප්‍රතිචාර දක්වන්නේ නම් එමගින් ප්‍රමාණ වන්නේ ය. එමගින් සඤ්ඤා වන්නේ ය. මෙසේ තණ්හා වන්නේ ය. මෙහි දී සතර සුඛභාගී ධර්මයට පැමිණෙයි. යම් සංස්කාරයක් කරන්නේ නම් එමගින් රූප, වේදනා, සඤ්ඤා, සොයයි. යම් රූප, වේදනා, සඤ්ඤා, සෙවීමක් ඇත්ද එමගින් අලුත් සංස්කාරයන් උපදවයි. සුඛභාගී ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලුවා. මෙහි දී ඡන්ද සමාධිය නිසා සබ්බනිස්සග්ගය දක්වාත්, සබ්බනිස්සග්ගය සිට ඡන්ද සමාධිය දක්වාත් බැලුවා. සිත ඉතා ම ප්‍රභාස්වරයි. ආලෝකය විහිදෙන ස්වභාවයට පත් වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.