පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම පෙරේදා භාවනාව, 23/12/2016 භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ මතක ඇති අපි බැලුවා මේ තථාගතයන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ දී භාවනා කළ ආකාරයෙන් භාවනාව වැඩුවා. ඒ අතීත භවයන් කියන ඒවා සිහි කළා. ඒ පාණාතිපාතය එහෙම කරලා අපායේ ඉපදීම, ඒ වගේ ම ඒ හොඳ දේවල් කරලා ඒ දිව්‍ය ලෝකයේ, ඒ වගේ ම බ්‍රහ්ම ලෝකයේ එහෙම ඉපදීම වශයෙන් ඒවා, අතීත භවයන් සිහි කළා. එතකොට ඒ විදිහට අපි ඒ ආදීනවයත්, ඒ වගේ ම ධ්‍යාන තලවල වාගේ දේවල්වල ඉපදීමෙන් තිබෙන්නා වූ ආස්වාදය කියන එකත් සිහි කළා. එතකොට ඒ ධ්‍යාන තලයකට ගිහිල්ලා කාටවත් හානි කරන්නයි කියලා සිතන්නේ නැත්නම්, එතකොට ඒක තමයි ඒ වේදනාවේ ආස්වාදය.
ඉතින් ඔය විදිහට අපි බැලුවා ඔය චිත්තය කියන එකේ ඒ ආස්වාදය වන්නේ “විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය” කියන ඒවා. ඊට පස්සේ ඒ අවස්ථාව වෙනකොට තමන්ගේ සිත ඒ ප්‍රභාස්වර ස්වභාවයට පත් වෙනවා. ඉතින් මෙතනදි අර දස අකුසලය නිසා ඒ කුම්මග්ග පටිසේවනය, ඒකෙන් ලෝභ, දෝෂ, මෝහ. ඒ වගේ ම අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේදි අපි ඉගෙන ගන්නෙ, ඒ අනෙක් පැත්තටත් ඒකේ බලනවා එතකොට දස කුසලය නිසා අලෝභ, අදෝෂ, අමෝහ. ඒ වගේ ම අරි අට මඟ සැකසෙනවා කියන එක.
එතකොට එහෙම ඉන්න එක නිපකභාවය කියන එක අපි සාකච්ඡා කළා. එතකොට ඒ අවස්ථාවේ දී ඒ “විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා” කියන ඒවා සිහි වුණා. අර “එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො, සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති, තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති” කියලා “නිරෝධ සඤ්ඤා.”
ඉතින් ඔතන සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො කියලා කියන්නේ උපධි කියන එක. ඉතින් අපි පස් වෙනි කාරණයට ආවා දස උපධීන් කියන එක. එතකොට ඒවායින් හැම එකකින් ම ප්‍රමාණය කරනවා. ලෝභය, දෝෂය, මෝහයන්ගෙන් ප්‍රමාණය කරනවා කියලා. ඉතින් ඕකෙ අපි ඉගෙන ගත්තා යම්කිසි සංස්කාරයක් කරනවා නම් එමගින් අර රූප, වේදනා, සඤ්ඤා කියන ඒවා සොයනවා. යම් රූප, වේදනා, සඤ්ඤා, සෙවීමක් තියෙනවා ද එමගින් අලුත් සංස්කාරයන් උපදවනවා කියලා.
එතකොට මේ ප්‍රභාස්වර චිත්ත ස්වභාවයකින් ඒ ආලෝකය තුලින් යම්කිසි දහමක් දකිනවා ද, ඒ සියලු ධර්මයෝ ම දුකෙහි ඇතුළත් බව තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ දී වටහා ගන්නවා. අර විජ්ජා උදපාදි කියලා කිව්වේ ඒ අවස්ථාවයි. ඒ කියන්නේ අර අපායේ තිරිසන් ලෝකය ඔක්කොම ඒ පැත්තත් දුකයි, ඒ වගේ ම ධ්‍යාන තලයකට ගිහිල්ලා ඒවායේ අල්ලාගෙන හිටියා නම් එතනත් දුකයි කියන එක එනවා. එතකොට මෙතන දී මේ දෙයාකාර වූ ධර්මයන් පේනවා කියන එක අපි සාකච්ඡා කළා.
ඒ කියන්නේ සමුදය ධර්මය දෙයාකාරයි. රූප, වේදනා, සඤ්ඤා සෙවීම, සංස්කාර මගින් ඇති වෙනවා. ඒ වගේ ම සොයන ලද, ලබා ගන්නා ලද රූප, වේදනා, සඤ්ඤා මගින් අලුත් සංස්කාරයන් උපදවනවා කියලා. ඒ වගේ ම අස්තංගමයත් දෙයාකාරයි කියලා අපි බැලුවා. ඒ කියන්නේ රූප, වේදනා, සඤ්ඤා නිරෝධ වෙනවා නම් සංස්කාර නිරෝධ වෙනවා. සංස්කාර නිරෝධ වෙනවා නම් රූප, වේදනා, සඤ්ඤා කියන තුන් ධර්මයන්ගෙන් ම නිරෝධ වෙනවා කියන එක අපි බැලුවා.
එතකොට ඒකේ අපි පෙන්නුවා ඕකේ පළවෙනියට අපි සඳහන් කළා වූ ඒ රූප, වේදනා, සඤ්ඤා සෙවීම, සංස්කාර මගින් ඇති වෙනවා කියන එක. එතකොට ඒක අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රවය දක්වා එන එක, දිට්ඨි පපඤ්චය. ඊළඟට දෙවෙනි කාරණාව, ඒ තණ්හා පපඤ්චය, කියලා අපි බැලුවා. ඒ රූප, වේදනා, සඤ්ඤා, මගින් අලුත් සංස්කාරයන් අපි ඉපදවීම කියන එක.
එතකොට ඒකෙදි අපි අර මමංකාර, අහංකාර කියන කොටස් දෙකත් සාකච්ඡා කළා. ඒකෙදි පෙන්නුවා, එක පැත්තකට එනවා රූප ස්පර්ශ වේදනා සඤ්ඤා. ඒ කොටස මගින් මමංකාරය. ඊට පස්සේ දකුණු පැත්තේ පහළ සංස්කාර මගින් අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවය දක්වා එන එක එතන අහංකාරය කියන එක.
එතකොට දැන් එහෙම නම් අපිට පේනවා මේ වම් පැත්තේ ධර්මයෝ නැති වන්නේ, ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට නොවන්නේ, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයෙන් කියන එකෙන්. එතකොට මේක තමයි මේ අද විශේෂයෙන් ම තියෙන භාවනා කොටස. එතකොට අධිචිත්ත ශික්ෂාව කියන එක එතෙන්දි මට සිහි වුණා.
“සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇත” කියලා රහතන් වහන්සේ ඕක ප්‍රකාශ කළේ. ඇයි අපි සම්මා ඥානය කියලා කියන්නේ නැත්තේ? ඇයි අපි සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව කියන එක? එතකොට ඕක මම රහතන් වහන්සේගෙන් ඇහුවහම ගෙදර දී රහතන් වහන්සේ කිව්වා “ඔබ මේක දන්නවා” කියලා. ඒක මට වැටහුණා. ඒ කියන්නේ දැන් ප්‍රඥාව කියලා කියන්නේ මොකක් ද? දුකයි, දුක්ඛ සමුදයයි කිය කියා ඉන්න එක නෙමෙයි. දුකයි, දුක්ඛ සමුදයයි කියන එක දැකලා, ඒ දුක නැති කිරීමට පමා නොවෙනවා නම් තමයි ඒක ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නම් මොකක් ද අපි මේ කියන්නේ?
මතක ද අපි පෙන්නුවේ ඒ අධිචිත්ත ශික්ෂාවට එන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාර ඉවත ලා, ඊළඟට දෙවනියට අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලීම, තුන් වෙනුවට රූපයට නිත්‍ය යැයි එකතු කිරීම ඉවතලීමට ප්‍රමාද නොවන්නේ, නොවීම කියන එක සිදු වෙනවා. අන්න ඒක නිසා තමයි සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇති යැයි කියලා පවසන්නේ. ඒවා අයින් කරන්නට පමා වන්නේ නෑ. එතකොට ඒ සම්මා ඥානය වශයෙන් විතරක් කියන්නේ නැතුව, ඒක තුළ තියෙන ප්‍රඥාව කියලා කියන්නේ මේ ධර්මයන්, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි ඒ ධර්මයන් පහ කරන්න පමා වෙන්නේ නැහැයි කියන එක. ඉතින් මේ භාවනාව මේ විදිහට කළහම නිරෝධය ඇති වෙනවා. කොයි ආකාරයට කළත්, දවස් දෙකක් මම ඕක කළා. කොයි ආකාරයට කළත් නිරෝධයට ම තමයි එතනින් යන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.