උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවෙදි අර අතීත භවයන් බලන ඒවා බලලා, ඔය විදිහට අර ධ්‍යාන තලවල ඉපදීම එහෙම බලලා, එතෙන්දි ආවා අර හතර වෙනි කාරණයට. ඒක තමයි අර “විරාග සඤ්ඤා නිරෝධ සඤ්ඤා” කියන එක සිහි වෙන එක. “එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථා, සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති, තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති.”
ඊයේ අපි ඔතනදි බැලුවා ඔය අරි අට මඟ මගින් උපසමාධිට්ඨාන. කිසිදු සංස්කාරයක් නොකරන්නේ නම් පමණක් සංස්කාරයන් සමථ වෙනවා කියලා අපි බැලුවා. ඉතින් අද භාවනාවෙදි ඒකෙ පෙනෙන්නේ අර වමේ සිට දකුණට කිසිදු දහමක් නොපැමිණි වන්නේ නම් එනම් සඤ්ඤා මගින් ඇති වන්නා වූ සංස්කාරයන් නොපවතින්නේ නම්, පැවතීමක් නැත්නම් සංස්කාර නිරෝධ වන්නේ ය. එනමුදු සඤ්ඤාව නතර වූ පමණින්, සංස්කාර නිරෝධ වූවා යැයි නොපැවසිය යුතුයි. කුමක් නිසා ද?
මගඵල ලාභියා සඤ්ඤාව ඉවතලයි. එනමුදු ඔහුට නෙවසඤ්ඤානාසඤ්ඤායතන වන අවස්ථාවෝ ඇත. මේ නිසා ය. කෙසේ නම් කිසිම සංස්කාරයක් නොකරයි ද? තණ්හා නිරෝධය මගින් ම මේ වන බව පැවසිය යුතුයි. මේ සඳහා නෙවසඤ්ඤානාසඤ්ඤා වැනි සංස්කාරයෝ ද, අනිත්‍ය බව වැටහෙන්න ඕනෑ. ඉතින් ඒකේ භාවනාව මේ විදිහට කරලා diamond shape එකේ ගිහිල්ලා තමන් ඒකේ අර පාරිසුද්ධිපධානියඞ්ග කියන ඒවා එහෙම බලලා මෙන්න මේ කාරණාව පොඩ්ඩක් සිහි කරලා බලන්න ඕන.
මේක හරියට අර, අපි කියනවා නේ මේ, අපි ජරාව දන්නවා කියලා. නමුත් අපි අර වම්මික සූත්‍රයේ අපි දන්නවා නේ අන්තිමට ගත්තහම නිකම් ජාතියේ ඉඳන් ජරාවට කිව්වාට නිකම් හරියන්නේ නෑ. ඔක්කොම තියෙනවා කියලා. අන්න ඒ වාගෙ තමයි ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංස්කාරත් අනිත්‍ය යැයි කියලා එන්න නම්, ඉතින් තමන් එතනට යන්න ඕන. ඒ වගේ ම ඒක ගිහිල්ලා, මේක හැමදා ම කරන්නත් පුළුවන් දෙයක් නෙමෙයි කියන එක එහෙම තමන් වටහා ගන්න ඕන. නැත්නම් නිකම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක තමන් කවදාවත් ස්පර්ශ කරලා නැති දෙයක් කෙනෙක් කිව්වට හරියන්නේ නෑ මේක අනිත්‍යයි කියලා. තමන් ගිහිල්ලා බලලා, ඒක නේ බුදුහාමුදුරුවෝ යවන්නේ අපිව මේ ඔක්කෝට ම ඒ ධ්‍යානයන් කරා ගමන් කරන්නේ. ගිහිල්ලා ඉතින් හැමදා ම ඕක කරන්න බැහැයි කියන එක තියෙනවා. ඉතින් එතනින් පස්සේ අර උපධි, ඊයේ කළා වාගේ උපධීන් සිහි කරලා භාවනා කොටස කරන්න පුළුවන්.
ඉතින් මෙහෙම කළා ම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන ඒවා අද ගැන්නා. දැන් අට පාරක් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා කියලා. ගිහිල්ලා ආපු ගමන් අන්න එකයි. මම ගිහිල්ලා ආවා කියලා, ආපහු භාවනා කරනකොට ආපහු ඔන්න මම ගිහින් ආවා. දන්නවා ගිහිල්ලා එනවා කියන එක. ඒ විදිහට භාවනාව කරන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.