ඉන්දියාවේදි ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපය අසල ඇසුණු ධර්මයො.
ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉන්දියා trip එකේදි ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපය අසල ඒ භාවනාව කරනකොට, ඒ ඇසිච්ච ධර්මයො, ඒකට සිත යොමු කළා. චතුරාර්ය සත්‍ය ධර්මයෝ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දුක්ඛයත් දුක්ඛ සමුදයත් කියන එක, එක කොටසක්. ඊළඟට දෙවෙනි එක, දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් තව කොටසක්.
දුක්ඛයත් දුක්ඛ සමුදය සත්‍යයේ, ආස්වාදය කියන එක තියෙනවා. දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ, ආදීනවය කියන එක තියෙනවා.
දුක්ඛයත් දුක්ඛ සමුදය සත්‍යයේ, ආස්වාදය කුමක් ද? ධ්‍යානයක් හෝ අභිනන්දනා කරන්නේ නම් ඒ නිසා ඉපදීම ඇත. එය දුකෙහි ඇතුළත් ය. දුක්ඛ නිරෝධයෙත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ ආදීනවය කුමක් ද? යම් දහමක් වැඩිය යුතු ද, භාවිතා කළ යුතු ද, එම දහම නොවැඩීම නිසා, කුසලයේ ඉපදීම නැති නිසා, ආදීනවය ඇත. මෙය ද, දුකෙහි ඇතුළත් වන්නේ ය. මෙම ධර්ම කාරණා දෙක යම් පුද්ගලයෙක් තේරුම් ගන්නේ ද, ඔහුට නිර්වාණය ඇත.
ඉතින් මේක ඊයේ භාවනාවත් එක්ක සසඳලා බලන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි සංස්කාරයෝ ද අනිත්‍ය බව වැටහෙන්නේ එය අභිනන්දනා නොකරයි. තණ්හා නිරෝධය ම දුක්ඛ නිරෝධය බව වැටහෙන්නේ, කිසියම් දුක්ඛයක් පහ කළ යුතු ද, ඒ සඳහා පමා නොවෙයි. මෙසේ විදුමත් වන්නේ, ඒ කියන්නේ චක්ඛු, ආලෝක, ඥාන, විජ්ජා. එතකොට නිර්වාණය සාක්ෂාත් කරනවා. ඒ විදිහට විධිමත් වෙනවා නම්. එතකොට ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාව කරනකොට කෙනෙක් බලන්න ඕන, අර දැන් අපි ආස්වාදය කියන එක කිව්ව නේ, අපි දන්නවා අර රූපය කියන එකේ ඒ ආස්වාදය, රූපය නිසා ඇති වෙන සුඛය සොම්නස. වේදනාව නිසා ඇති වෙන්නා වූ ආස්වාදය, කවුරු හරි ඒ ප්‍රථමධ්‍යානයේ ඉඳන් හතර වෙනි ධ්‍යාන දක්වා ගිහිල්ලා කාටවත් හානියක් කරන්න හිතන්නේ නැත්නම්, චතුත්ථධ්‍යානය වාගේ ධ්‍යානයන්ට ගිහිල්ලා, අන්න ඒක තමයි ආස්වාදය. චිත්තයේ ආස්වාදය කියලා කියන්නේ, අපි පාරිසුද්ධිපධානියඞ්ගවලට ගමන් කරනවා. ඒ පාරිසුද්ධිපධානියඞ්ගයන් කියන ඒවා තමයි එතන චිත්තයේ ආස්වාදය වෙන්නේ. සංස්කාරවල ආස්වාදය වෙන්නේ ඒ පාරිසුද්ධිපධානියඞ්ගයෙන් අපි සිත මුදවනවා. ඒ මුදවාගන ලද්දා වූ ඒ ධර්මයන්ගේ ඒ නිරෝධය කියන එක. විඤ්ඤාණයෙත් ආස්වාදය ඒ ආකාරයි. මොකද විඤ්ඤාණයෙන් දැන ගන්නෙත් දුකයි කියන එකයි.
එතකොට එහෙම නම් දැන් අපි පළවෙනි ධර්ම කාරණාව බැලුවොත්, මේකේ ආස්වාදය තියෙනවා කියන එක. එහෙම නම් කෙනෙකුට පේනවා, අපි ධ්‍යානයක් අභිනන්දනා කළොත් ඒකේ අපිට දුක්ඛය තියෙන්නේ. එතකොට සංස්කාරයට ආවා ම මොකක් ද ඒකේ තියෙන්නේ? අරවායින් සිත මුදවාලන ලද ධර්මයෝ කියන එක.
එතකොට එහෙම නම් කෙනෙකුට පේනවා මේ සංස්කාරය මගින් එක්කෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හැදෙනවා, එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය. එතකොට නිරෝධ සමාපත්තිය කියන එක, ඒ කියන්නේ හදන ඒවයින් ඉහළ ම ඒවා. නිරෝධ සමාපත්තිය කියන එකේ මොකක් ද අභිනන්දනා කරන්න තියෙන්නේ?
එතනදි අපිට පේනවා මේක පවතින්නේ නෑ. පවතින්නේ නෑ කිව්වා ම ඒක දෙයාකාරයි. ඒ කියන්නේ ධ්‍යාන තලයක් වාගේ කෙනෙකුට ගිහිල්ලා ඉපදිලා ඉන්න පුළුවන් කියලා පැවතීමක් නිරෝධ සමාපත්තියේ නෑ. ඊළඟට ගත්තහම නිරෝධ සමාපත්තිය කියන එක පවතින්නෙත් නෑ.
භික්ෂූන් වහන්සේ නමකට දවස් හතක් කියමු, වැඩි ම කාලයක්, ඒ වගේ ඉන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය අර්ථයෙන් මේක කල්පනා කරන්න ඕන. එහෙම නම් අපි අර අභිනන්දනා කරනවා කිව්වාහම ඔන්න ඔය කාරණා ටික අපි ඔය විදිහට රූපයේ, වේදනාවේ, චිත්තයේ, ඒ සංස්කාරවල ඔය විදිහට බලාගෙන ගිහිල්ලා, ඊට පස්සේ අපි බලනවා අර නිරෝධය කියන එක.
ඒකේ අපි පෙන්නුවා නේ මෙතන දුක්ඛ නිරෝධයේ තියෙනවා කියලා ආදීනවය. ඉතින් ඒක දිගට ම බලාගෙන ගියා ම, අපි එහෙම නම් අර රූපයේ ආස්වාදය අපි අතහරිනවා. වේදනාවේ ආස්වාදය අතහරිනවා, ඒක ආදීනවයෙයි කියලා දැකලා, දුකෙහි ඇතුළත් යැයි කියලා දැකලා. ඔය විදිහට බලාගෙන යන්න ඔය කාරණා ටික ඔක්කොම සංස්කාර දක්වා, පවතින්නේ නැති දේ, ඒක අතහරිනවා. එතකොට එහෙම නම් අපි මොකක් ද අන්තිමට අතහරින්නේ? දුක්ඛය ම යි අතහරින්නේ. අවසානයට ගියහම දුක්ඛය ම යි අතහරින්නේ. මුළු දුක්ඛය ම. එතකොට ඒ වෙලාවේදි ඔළුව පුදුමයි. ඒ කියන්නේ ඉහළ ම වූ තැනකට තමන් ගිහිල්ලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.