Date: 22/01/2017 Name: Nirodhi Samapatti Nanna

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම කලින් කළ සත්ත ධාතු භාවනාව නැවතත් කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා, ඒකේ අත්තා යන්න ඉවත් කිරීමෙන් ඒ සඤ්ඤාව මගේ නොවේ කියන එක යොදා ගත්තහම ආකිඤ්චන විමුක්තිය ඇති වුණා. ඒ කියන්නේ සුභ ධාතු ඒ විදිහට බලාගෙන ගියා. ඒ කොටස් කලින් කියලා තියෙනවා නේ. එතකොට ඒ ආකිඤ්චන විමුක්තිය දක්වා ආවා.

එතකොට මෙහෙම ටික වේලාවක් ඉන්නකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙලා ඒ ඉන්දියාවේ අර අනාථපිණ්ඩික සිටුතුමාගේ බැංකුව එහෙම බුද්ධ කාලයේ තිබිච්ච ඒවා එහෙම මම දැක්කා.

ඊට පස්සේ මේ සංස්කාරවල ආදීනවය කියන එක අනත්තා කියලා සිහි කළා. එවිට මම කල්පනා කළා ඇයි මෙතන නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇති වුණේ කියන එක.

ඒකෙදි අපිට පේනවා සඤ්ඤා සහ සංස්කාර නිසා ඇති වෙන අත්ත ස්වභාවය ඉක්මවීම සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ අත්තා ඉඳන් නිත්‍ය වීම ඉක්මවන්නේ සඤ්ඤාව මගින් සාදන සංස්කාර මගින් වන නිත්‍යභාවය ඉක්මවනවා.

එපමණකින් නිත්‍යභාවය ගිලිහී යන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක සිද්ධ වෙනවා. දැන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණේ මොකද කියන එකයි බැලුවේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සංස්කාර නිසා වන නිත්‍යභාවය.

මේක මොකක් ද? මං නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ සිටියා කියලා පසු සඤ්ඤාවක් එහි ගිහිල්ලා පැමිණි පුද්ගලයාට තියෙනවා. එම සංස්කාරයන් නිසා වන නිත්‍යභාවය ඉක්මවන්නේ නම් කරුණු තුනක් සිද්ධ වෙන්න පුළුවන් කියලා රහතන් වහන්සේ පැවැසුවා.

එකක් තමයි නිරෝධය, අනික් එක ප්‍රඥා විමුක්තිය, තුන තමයි නිර්වාණය. එතකොට මේ භාවනාව කරන්න කරන්න, පහුගිය දවස්වල දිගට ම කරගෙන ආවේ මේ භාවනාව තමයි. කරගෙන එන්න එන්න මේකේ ප්‍රභාස්වර වෙන ස්වභාවය වැඩි වෙනවා. ඒකේ ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා.

එතකොට ඒ ආකිඤ්චන විමුක්තිය වුණත් ඉතා ම ප්‍රභාස්වර ලෙස පිරිසිදුව පවතිනවා. මේකෙදි අපිට පේනවා diagram එකක් වශයෙන් ගත්තහම මේ අත්ත ඉඳන් නිත්‍ය, පහළට ගියා අවිද්‍යා ආශ්‍රවය වම් පැත්තේ දිට්ඨි ආශ්‍රවය. එතකොට triangles 2ක් අපිට පේනවා.

අත්ත, නිත්‍ය, දිට්ඨි ආශ්‍රවය එක triangle එකක්, ආපහු අපිට පේනවා නිත්‍ය, දිට්ඨි ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවය කියලා තවත් triangle එකක්.

එතකොට මේ කොටස් දෙක මෙනෙහි කරන තාක් කල් ඒ ආකිඤ්චන විමුක්තිය නොසැලී පවතිනවා කියන එක තේරෙනවා.

දැන් ඔතන සඤ්ඤා නිසා වන සංස්කාර මගින් වන අනිත්‍යභාවය මෙනෙහි කරනවා නම් ඒ සංස්කාරයන් කියන ඒවා අනත්තා කියලා මෙනෙහි කළා ම ප්‍රභාස්වර චිත්තය මුළු සිරුර ම වසාගෙන ඉන්නවා.

මෙන්න මේ අවස්ථාවෙදි සබ්බ සඞ්‌ඛාරෙසු අනිච්ච සඤ්ඤා හොඳින් මෙනෙහි කරනවා නම් ඒ පුද්ගලයාට නිරෝධය කියන එක ඇති වෙනවා. එතකොට සබ්බ සඞ්‌ඛාරෙසු අනිච්ච සඤ්ඤා කියන එක අපි බලලා තියෙනවා කලින්. ඕක 05/04/2016 විමුක්ති භාවනාවේ හොඳට පැහැදිලි කළා. අර කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණයටත් කැමති වෙනවා. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරා වන්නේ ය. එයින් පීඩා වන්නේ ය, ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යනුවෙන් ගැනීමෙන් පසුවයි. අත්ත සඤ්ඤා නිසා සැකසෙන විඤ්ඤාණය මගින් පදුට්ඨමනසඞ්කප්පය දික් කරන්නේ ජරාව දක්වා ආවා. ජරාවට ජිගුච්ඡති.

තණ්හා පපඤ්චය නිසා ඇති වන ජරා, වේදනා, අසම්පජාන රේඛාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. චේතනාවන් කරලා සංස්කාරයන් කරලා කරුණු රැස් කරනවා. පදුට්ඨමනසඞ්කප්පය ජරාවට පැමිණෙන්නේ ඉහළ සංස්කාර කොටුව හරහායි.

එම සංස්කාරයන්ට අට්ටීයති, හරායති. ජිගුච්ඡති. එතකොට ඊට පස්සේ, ඒ භාවනාවේදි පෙන්නුවා මෙතනින් මේක නතර වන්නේ නෑ. පල්ලෙහා සංස්කාරයන් තියෙනවා. ඒ පල්ලෙහා තියෙන සංස්කාරයන්ටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා මෙනෙහි කරන්න ඕනි.

පෙර පාණාතිපාතය කළා, අදත්තාදානය කළා. එමගින් ජීවත් වීමට ඇති ඇල්ම, ඡන්දරාගය පහ කළ යුතුයි. අනාගතයේ දී මෙම සංස්කාරයන් භාවිතා කර ජීවත් වීමට ඇති ඇල්ම පහ කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. දැන් කරන්නා වූ සංස්කාර විෂයයෙහි ඇති ඇල්මත් පහ කරන්න ඕනි. ඡන්දරාගයත් දුරු කරන්න ඕනි. අන්න ඒ විදිහට කරනකොට ඒ නිරෝධය කියන එක ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.