Date: 04/02/2017 Name: Nibbana

පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම අද භාවනාවට කළේ, අපි කලින් කරපු භාවනාව. අවසානයට අපි ඉගෙන ගත්තා, භාවනාමය ප්‍රඥාව, අවිතක්ක අවිචාර සමාධිය, අධිප්‍රඥා ශික්ෂාව, පග්ගහ නිමිත්ත. ඒ වගේ ම අපි බැලුවා අදෝෂ පාරෙ අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, අධිශීල ශික්ෂාව, එතනින් වම් පැත්තේ අලෝභ පාරේ, ඒ අධිචිත්ත ශික්ෂාව.

එතකොට ඒ භාවනාවේ කාරණාවල සම්බන්ධතාවය පෙන්නුවා, කලින්. ඒ භාවනාව කළාට පස්සේ, අධිචිත්ත ශික්ෂාව භාවනාමය ප්‍රඥාව මගින් පෝෂිත වෙනවා. ඒ වගේ ම භාවනාමය ප්‍රඥාව මගින් අධිචිත්ත ශික්ෂාව පෝෂිත වෙනවා. එතකොට ඒක හොඳට firm වෙනවා. ඒ දෙපැත්ත ම, හරියට දෙපැත්ත ම අල්ලාගෙන තිබ්බා වගේයි. ඒක වැටහෙනවා. එහෙම වුණා ම, අධිශීල ශික්ෂාව ස්ථාවරයට පැමිණෙනවා. නිවනට යොමු වූ මනසක් ඇත්තේ, පාණාතිපාතය ඉවතලන්නේ, අදත්තාදානය ඉවතලන්නේ නිර්වාණය ම සොයනවා. භවෙසනය අතහරිනවා.

කුමක් නිසා ද? සම්මා ආජීවය මගින් මානය සිඳලීමයි. මෙසේ සීලස්කන්ධය සම්පූර්ණ කෙරෙනවා. අපි ඕක කලින් බලලා තියෙනවා. භව සේවනය දුරු කරන්නේ, සීලස්කන්ධය පරිපූර්ණ කරයි. යම් භවයක පැවැත්මක් නොමැති ද, එය ම සීලයට තුඩු දෙයි, කියලා අපි ඉගෙනගෙන තිබෙනවා.

එතකොට මේක තවදුරටත් කරගෙන යනකොට අපිට පේනවා, සම්මා ආජීවය මගින් මානය සිඳලනවා. අමෝහ පාරේ ගමන් කරනවා. මේ දෙකේ වෙනස වෙන්නේ මානය අඩු නිසා, කිසිදු සංස්කාරයක් මෙයට වඩා මෙය හොඳ යැයි නොපවසනවා. කිසිදු සංකල්පයක් හොඳ යැයි නොපවසනවා. වෙනසක් නොදකින්නේ සම්මා සංකල්පය ඇති වෙනවා, සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පය.

යමක් හොඳ යැයි පවසයි නම්, එහි විඤ්ඤාණය බැස ගන්නා බව දන්නා නිසා ය. අවිද්‍යා ආශ්‍රවයට වඩා කාම ආශ්‍රව හොඳ යැයි නොපවසයි. ආන්න ඒක තමයි වැදගත් ම දේ.

මෙසේ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරනවා. යම් ආශ්‍රව අතර වෙනසක් නොදකින්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. සිත නොදුවයි. සැනසීම ඇති වෙයි. මේ උතුම් නිවනයි. ඒකයි මෙතන තියෙන්නේ.

ඒ කියන්නේ අපි අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවයට යන්නේ නෑ. මොකද මේ දෙක වෙන් කරනවා නම්, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයට වඩා කාම ආශ්‍රවය හොඳයි, කාම ආශ්‍රවයට වඩා අවිද්‍යා ආශ්‍රවය හොඳයි කියලා ගන්නවා නම් සිත පිහිටුවනවා. ඒකෙන් දුවවනවා කියන එක සිද්ධ වෙනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.