Date: 25/03/2017 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 14/01/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ නිබ්බාන භාවනාවේ, ඒකේ තිබුණේ ධාතු හත, සුභ ධාතු, ආලෝක ධාතු, ආකාසානඤ්චායතන ධාතු, ඔය විදිහට ධාතු හත.

එතකොට ඒකේ සුභ ධාතුව, මෙනෙහි කරන්න අසුභය, ඒ අසූචි, මළා මුත්‍රා, මේ විදිහට කල්පනා කරලා, ඒ මෙත්තාව භාවිතා කරලා මේක ඉක්මවනවා කියලා අපි ඉගෙන ගත්තා. මෙත්තාව, රූපය නිසා ඇති වන හානිය නැති කිරීමට. එමගින් ඇති වන ව්‍යාපාද ස්වභාවය ඉවත් වන්නේ නම්, නාම කොටසේ බලපෑම ඉවත් වන නිසා රූපයේ ඉවත් වීම කරන්න පුළුවන් කියන එක. ඉතින් එතැන දී අපි කුමක් සඳහා ද අපිට මෙත්තාව අවශ්‍ය වුණේ? අර අසූචි අල්ලාගෙන සිටින්නේ, විඤ්ඤාණය දැනට බැසගෙන සිටින්නා වූ රූපය ජරා වී ඇත්තේ, ජරා නොවූ රූප සොයනවා, විභන්තචිත්තා. තමන්ගේ ශරීරය ජරා වුණහම අර තරුණ අය, ආදි වශයෙන්, ඒ දිහා බලනවා. එහෙම නැත්නම් අර සීයාගේ කතාව ඔයගොල්ලන්ට මතක තියෙනවා. අර එයා හිතනවා මේ අබයි, සූදුරුයි, කහයි එහෙම දාලා මේක කරගන්න පුළුවන් වෙයි කියලා.

එතකොට මෙතැන දී මේ ජරා වන රූපය දැක, ජරාව ඉක්මවීම නොකරන්නේ, අලුත් රූප සොයන්නේ, නාමකායේ ඇති අධික වූ බලපෑම නිසා කියලා අපි ඒ භාවනාවෙදි ඉගෙන ගත්තා. අතීතයේ එවැනි රූප සෙව්වේ, දැනට වඩා හොඳ යමක් ලැබුණා යැයි මනස පෙන්නා දෙනවා. මේක ඉදංසච්චයට ඇතුල් වෙනවා. අන්න ඒකයි වැදගත් කෑල්ල, ඉදංසච්ච ගතවෙනවා. එමගින් දුක්ඛය යන සත්‍ය මැඩ පවත්වා සුඛ යන අදහස අසුභයට පවරනවා. මේ නිසයි මේ ප්‍රශ්නය ඇති වන්නේ.

එතකොට අපි අසුභය මුළු ලෝක විෂයයෙහි දැකලා, ඒක ඉක්මවලා, අපි මෙත්තා චෙතො විමුක්තිය කියන එකට යන්න පුළුවන්.

දැන් අපි මෙතනදි ඉගෙන ගත්තා, ඒ රූපයේ ඉක්මවීම නොකරන්නේ, රූපය නිසා ඇති වූ වේදනා කොටස ඉක්මවීම නොකරන නිසා ය කියලා. ඒ කියන්නේ, ඒ වේදනාවේ යම්කිසි නිත්‍යභාවයක් ඇති යැයි කියලා සිතනවා. නමුත් කෙනෙක් දන්නවා නම් මලකඩ කාපු යකඩ ඇනය නිසා ඇති වන්නා වූ සුඛය කිසිම යකඩ ඇනයක් නොපවතින බව දන්නා පුද්ගලයාට ඉක්මවිය හැකි ය. අනිත්‍ය බව දන්නේ, අර මනුස්සයා සහ බල්ලා අතර අපි පෙන්නුවා, ජීවත් වෙන්නේ කවුද කියන එක අනුව, ඒ උදාහරණය. ඒ රූපය කියන එක ඉක්මවනවා. රූපය නිසා ඇති වුණා වූ වේදනාවත් ඉක්මවනවා.

එතකොට මේ විදිහට මේ කරුණා චෙතො විමුක්තිය කියන එක සිහි කළා. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. ඒ වේදනානුපස්සනාව කරනවා. දුක බව දැනගන්නවා, දුක ඇති වන්නේ, දුක වේදනාව නැති ලොවක් අපි හොයනවා. එතනත් විභන්තචිත්තා. අර රූපය ගැන සොයලා කළා වාගේ ම. ඉතින් මෙතනදි විශේෂ වේදනා කොටසයි, නාම කොටසයි. නමුත් රූපයකින් තොරව වේදනාවේ දැනගැනීමක් නැත. අපි පෙන්නුවා අර නෙවසඤ්ඤානාසඤ්ඤා ලාභියාත් 50% රූපය ස්පර්ශ කරනවා කියලා.

ඉතින් එතෙන්දි ඒ වගේ ම, අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වේදනාව සඳහා විවිධ සංස්කාරයන් කරනවා. එතකොට ඒ සුඛ වන රූප සොයන සංස්කාරයෝ කියලා. පාණාතිපාත, අදත්තාදාන, මුසාවාද, කියලා අපි ඕවා කල්පනා කළා.

එතකොට මේවා දැනගෙන, මේ සියලු සංස්කාරයන් අතහරිනවා. එතකොට මේ විදිහට චාගාධිට්ඨානය වෙනවා. මෙතන වේදනාවත් අතහරිනවා. මෙතන වේදනාව අතහරිනවා නම් පිටත වේදනාවත් අතහරිනවා. එහෙම නම් ඉන්න තැනකුත් නැහැ, යන්න තැනකුත් නැහැ කියන එක තියෙනවා. වේදනා විෂයයෙහි කරුණා චෙතො විමුක්තිය කියන එක ඇති වෙනවා.

අපි ඔතනදි සාකච්ඡා කළා. ඔය වේදනාව නොඉක්මවන්නේ කුමක් නිසා ද? ඒ දිට්ඨි ආශ්‍රව මගින් ඇති වෙච්ච බලපෑම නිසා ය කියලා. එතනදි එනවා ඉදංසච්චයෙන් භය අගතිය, භය අගතියෙන් වේදනාව. එතකොට පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා දිට්ඨි ආශ්‍රව තියෙනවා.

එතකොට අර පෙර ධර්මයෝ නිසා ඇති වූ නිත්‍යභාවය මනසේ රැඳී පවතිනවා. ඉදංසච්චය හරහා භය අගතියටත්, එමගින් වේදනාවටත් පැමිණෙනවා. වේදනාව විෂයයෙහි සිත මැඩලීම කියන එක සිදු වෙනවා. සුඛය නොඉක්මවන්නේ නිත්‍ය යන සඤ්ඤාව සෑම වේදනාවක් කෙරෙහි ම පවරන නිසා ය.

ඉතින් ඔතෙන්ට ආවට පස්සේ ඒක සම්බන්ධ වෙනවා 15/03/2017 නිබ්බාන භාවනාව. එතන අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක. අන්න ඒක හොඳින් වැටහෙනවා, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය.

ඒකේ බලන්න අර අපි පෙන්නුවා දැන් ටිකකට ඉස්සෙල්ලා, රූපය නිසා පෙර ඉදංසච්චගත වුණා කියලා කොටසක්. ඊළඟට වේදනාව නිසා ඇති වුණා වූ අර නිත්‍ය සඤ්ඤා කොටස ඉදංසච්චගත වීම. ඔන්න ඔය කාරණා දෙක. අන්න ඒක තමයි අපිට මේ හොඳට වැටහෙන්නේ. ඒ කාරණා දෙක ඒක පවතින්නේ නෑ නේ. අන්න ඒක තමයි මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක, බිඳෙනවා කියන එක. අන්න ඒක තමයි මේ භාවනාවේ විශේෂයෙන් මට තේරුණා වූ දේ ගැඹුරු ලෙස අවබෝධ වුණා.

ඒ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් තමයි ඕක පහ කිරීම කියන එක සිද්ධ වෙන්නේ. යම් වේදනාවක් වේ ද, එය රූප නිසා හෝ ධ්‍යාන නිසා හෝ පැවැත්විය නොහැකි බව දන්නේ, දක්නේ, සියලු විමුක්තීන් ඉක්මවා නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්.

ඉතින් මේක සඳහා අපිට ඉහළ ම සම්මා දිට්ඨිය කියන එක ඇති කරගෙන තියෙන්න ඕනෙ. ඉතින් ඒකෙ මතකයි නේ අපි පෙන්නුවා අර බ්‍රහ්මචරියෙසනාව ඉඳන් සීලස්කන්ධය දක්වා එන්නා වූ අර triangle එක වටේට square එක වගේ, ඒක භාවනා කරලා හොඳට තියෙන්න ඕනෙ.

ඒක තියෙනවා නම් මේ භාවනාව කළහම, අර මෙත්තා චෙතො විමුක්තිය අවස්ථාවෙදි මෙත්තා චෙතො විමුක්තිය එනවා. කරුණා චෙතො විමුක්තිය අවස්ථාවෙදි කරුණා චෙතො විමුක්තිය එනවා. මුදිතා චෙතො විමුක්තිය අවස්ථාවෙදි මුදිතා චෙතො විමුක්තිය එනවා. ඒ කියන්නේ කරුණා චෙතො විමුක්තියට ගියාට පස්සේ ඉතින් අපි දන්නවා ඔතනින් එහා පැත්තට අර සඤ්ඤාවත් එක්ක කරන්නා වූ කොටස.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.