ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඕගොල්ලන්ට මතකයි අර අත්තා පථය එහෙම සාකච්ඡා කළා. එතකොට එතන ඒ සඤ්ඤාව අභිනන්දනා කරන්නේ අත්තා නිසා. මෙම සඤ්ඤාව මගින් යම් අත්තා යන ස්වභාවයක් සිතේ හටගත්තා ද, එමගින් යම් ලාභයක් වී ද, එය අත්තභාව පටිලාභයට ඇතුළත් වෙනවා, අත්තවාද උපාදානයෙන්, අත්තභාව පටිලාභය.
එතකොට මේක සඳහා අපි උදාහරණයක් බැලුවොත්, රූපයක් දුටු පමණින් ම ඒක සුඛ වෙන්නේ නෑ. පෙර එවැනි රූප ඇසුරු කර යම් සංස්කාරයක් කළා ද, එයින් යම් සුඛ වේදනාවක් වින්දා ද, එය සිතේ ගැබ් ගෙන ඇති ද, එමගින් සුඛ යන්න සංස්කාරය විසින් සකස් කළ යුතුයි. තමන්ගේ අතීත සංස්කාරය. සංස්කාරය විසින් යමක් සකස් කළ පමණින් සුඛ නොවේ. උදාහරණ වශයෙන් ලී කැබලි දෙකක් එකට ඇතිල්ලීම එක වෙලාවට කරදරයක්, සද්දයක් එනවා. තව වරක එමගින් ගින්දර උපදවා කෑම උයාගන්න පුළුවන්. මේක සුඛයක්. යම් අත්තභාව පටිලාභයක් වේ ද, එමගින් ජාති දුක්ඛය ඇති වෙනවා. එමගින් ජරා, මරණ, සෝක, පරිදේව ඒවා ඇති වෙනවා.
දැන් ඊළඟට මම විඤ්ඤාණයේ සමුදය, අස්තංගමය සිහි කළා. අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. අභිනන්දති, සඤ්ඤා චේතනා මගින් විඤ්ඤාණය සෑදෙනවා. “නාමරූප පච්චයා විඤ්ඤාණං.” යම් සඤ්ඤාවක් පෙර අභිනන්දනා කළා ද, එමගින් ඇති වුණා වූ යම් චිත්තයක් වී ද, එය අභිනන්දනා කරනවා. යම් චේතනාවක් පෙර අභිනන්දනා කළා ද, එමගින් ඇති වුණා වූ යම් චිත්තයක් වේ ද, එය අභිනන්දනා කරනවා. මෙසේ අනෙකුත් චෛතසිකයන් දක්වන්නට ඕනෑ. එසේ නම් යම් පරියුට්ඨානයෙක් වී ද, එමගින් වන චේතනාවෝ ද, පරියුට්ඨානයෝ ද, අභිනන්දනා කරනවා. පරියුට්ඨානය දුස්සීලභාවයේ ප්‍රඥප්තියෙන් පනවනවා. එසේ නම් දස අකුසලය ම අභිනන්දනා කරන බව සිහි කරන්න ඕනෑ, එතකොට ඒ සංස්කාරයන්ගෙන් තමයි මෙතන මේ විඤ්ඤාණය.
එතකොට විඤ්ඤාණයේ ආදීනවය අනත්තා යැයි කියලා මෙනෙහි කළොත්, එතනදි සිත නතර වෙනවා. විඤ්ඤාණයෙන් දැනගන්නේ දුක බව අමතක නොකළ යුතුයි. ගෙයක් සෑදිමට පෙර එම සංස්කාරයෝ, සඤ්ඤාවෝ, වේදනාවෝ කෙසේ අගයා ද, ගෙය සෑදූ පසු එසේ නොවේ. අඩු පාඩු ම පෙනේ. ගුල්ලෝ ද විදී. මෙසේ විඤ්ඤාණයත්, විඤ්ඤාණය සෑදූ පසු, දැන ගැනීමත් වටහා ගත යුතුයි.
ධර්මය වශයෙන් පරාමාස ඉදංසච්චයට යන එක, ආනෙඤ්ජ සප්පාය. එතෙන්දි සඤ්ඤා චේතනාවලින් විඤ්ඤාණ. යම් මොහොතක වූවා ද, සුඛ යැයි ඉදංසච්චගත වූවා ද, ඉදංසච්ච පරාමාස වෙනකොට, අනිත් පැත්තට පෙර ගත්තා වූ මුසාව, වරදවා වටහා ගැනීම කියන එක සිදු උණා. සත්‍ය වශයෙන් ම ඇත්තේ දුක්ඛයක්. ඔතන හරි ගැඹුරුයි.
ඒ කියන්නේ ඔය lightning sign එකේ, repair කිරීම කොච්චර strong ද කියලා පේනවා. සංස්කාර, පරාමාස, සඤ්ඤා. දැන් අතන සුඛය නේ ඇවිල්ලා තියෙන්නේ පරාමාස වෙලා. මුසාව, සුඛයි කියලා. ඒ කියන්නේ ඉදංසච්චයට ගියා, ආපහු ආවා. දැන් ඒ පාර සඤ්ඤාවට අපි සුඛයි කියලා කියනවා. අන්න ඒ අවස්ථාවේ දී එනවා මෙන්න මේ ගාථාව.
“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.”
සබ්‌බෙ සඞ්‌ඛාර අනිච්චාති, කියනකොට, පල්ලෙහා සංස්කාර කොටුව තියෙන්නේ, එතන සංස්කාරය අල්ලා ගන්නවා මනස. යදා පඤ්ඤාය පස්සති, කියනකොට උඩ විඤ්ඤාණය. මේ විදිහටයි මේක වෙන්නේ කියලා මේ කිව්ව කතාවෙන් අපි දැනගත්තා. අථ නිබ්බින්දති දුක්ඛෙ, ජාතියට මනස යොමු කළා. එස මග්ගො විසුද්ධියා, අන්න ඒකයි තියෙන්නේ. ඒක හොඳින් වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.