ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අමෝහ භාවනාව කරගෙන ගියා. ඒ භාවනාවේ, අමෝහයේ අර්ථ දැක්වීම “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං” කියන එක. එතකොට අපි දන්නවා මේ මනුස්සයා මැණික් ගරනවා. එතකොට මැණික් හාරලා ඉවර වෙලා ඒ පුද්ගලයාට මැණික් ගලක් හම්බවෙනවා. බොහොම සතුටු වෙනවා. තව එක්කෙනක් මැණික් හාරලා එයාට වඩා ගණන් වූ මැණික් ගලක් හම්බවෙනවා. එතකොට මෙයාට පේනවා මේකත් එක්ක සසඳලා බලන්න පුළුවන්. අර තිබිච්ච එක වගේ නෙවෙයි. අරයාට හම්බවෙච්ච එක හොඳයි කියලා. ඔය විදිහට බලාගෙන ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මේ නිර්වාණය කියන එක රතනයක්. දැන් මේ ලෝකේ තියෙන රතනයන් ගත්තහම, gem එක කියන එක ඉහළ ම රතනය තමයි.
එතකොට මෙතන පෙන්නනවා මේ විදිහට තුලනය කරන්න බෑ නිර්වාණය කියන එක. එතකොට එහෙම නම් මැණික් ගැරීම සංස්කාරයන් කියන ඒවා ඉවතලීම ම තමයි ඒ අතුල වූ නිර්වාණය කියන එක, තමන්ට වැටහෙනවා.
එතකොට මෙතන දී මේ මගින් භාවනාමය ප්‍රඥාව කියන එක. එතන අපි ඉගෙනගෙන තියෙනවා ඒ අමෝහ පාරේ කුසලයාගේ ඉපදීම දෙයාකාරයි කියලා. එතකොට පාණාතිපාත වැනි අකුසලයන් පහ කිරීම එකක්. ඒ කුසලයන්ගේ ඉපදීම, වැඩිදියුණු කිරීම තව එකක් කියලා.
ඔය කුසලය කියන එක දවස් 4 භාවනාවේ අපි කරනවා පඤ්ඤාධිට්ඨානය මතක ද? අර “කුසලොති ජහාති පාපකං” කියලා යන්නේ. එතකොට ඒ ධාතු වශයෙන් දැනගෙන මගේ යැයි නොගැනීම. ඒ කියන්නේ අනත්තා වශයෙන් බැලීම. ආපහු පෙන්නනවා අනිත්‍ය වශයෙන් දැක මගේ යැයි නොගැනීම ආපහු කුසලයක්. දුක්ඛ වශයෙන් දැනගෙන මගේ යැයි නොගැනීම ඒකත් කුසලයක්. එහෙම නම් අපි එනවා අර ධම්මපදයේ ගාථාවට.
“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”
“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චා” කීවා ම අර පහළ සංස්කාර කොටුව ගන්න ඕනෑ. “යදා පඤ්ඤාය පස්සති” කීවා ම අර විඤ්ඤාණය තියෙන තැනට මනස යොමු වෙන්න ඕනෑ. විඤ්ඤාණය තමයි, අර ප්‍රඥාව නිසා විඤ්ඤාණය දැනගත්තා. ප්‍රඥාව දැන් විඤ්ඤාණයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. “අථ නිබ්බින්දති දුක්ඛෙ” අන්න එතනදි ඇඟිල්ල දික් වෙන්න ඕනෑ අර ජාතිය තියෙන තැනට. එතකොට එහෙම නම් සංස්කාර, විඤ්ඤාණ, ජාතිය. දැන් එහෙම දැනගෙන නොගන්නවා කියන එක පෙන්නනවා කුසලය. මේකේ ජාතිය දුකයි. ඊළඟට
“සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”
“සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්ඛා” කීවා ම අර පහළ සංස්කාර කොටුව දුකයි කියන එක ගන්නවා. “යදා පඤ්ඤාය පස්සති” කීවා ම ආපහු එන්න ඕනෑ විඤ්ඤාණයට. ඊළඟට “අථ නිබ්බින්දති දුක්ඛෙ” කීවා ම පරාමාසය කියන එක ගන්න ඕනෑ ඒ අවස්ථාවෙදි. ඒ කියන්නේ පරාමාසය ගන්නවා කියන්නේ දැන් ඔය විඤ්ඤාණය කියන එක සකස් වෙන්නේ සඤ්ඤා, චේතනා නිසා. එතකොට දැන් අපිට පේනවා, සඤ්ඤා, චේතනාවලින් ඒක ආවා නම් ඒ සඤ්ඤාවේ සුඛයි කියලා වරදවා ගැනීමක් නේ තියෙන්නේ. ඒ සුඛය ඉදංසච්චයට ගිහිල්ලා දැන් විඤ්ඤාණය තුළ. ඒ කියන්නේ නිකම්ම නොවෙයි. මේ භාවනාව එකකට එකක් සම්බන්ධයි.
ඒ කියන්නේ රූප. වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණවල සමුදය අස්තංගමය බැලීමෙන්, භාවනාවෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන මේ විඤ්ඤාණය සකස් වුණා. විඤ්ඤාණයේ සමුදය වුණේ මේ සඤ්ඤා, චේතනාවලින් එහෙම මේ විඤ්ඤාණය කියන එක සකස් වුණේ. එතකොට අර සුඛයි කියන එක එහෙම නම් විඤ්ඤාණයට ගියා. ඉදංසච්චයට ඒක ගිහිල්ලා ඉදංසච්චයෙන් ඒක සුඛයි කියලා අනුමත කරලා ආපහු පරාමාසයට එනවා. එතකොට එහෙම නම් අපි වරදවා වටහා ගත්තා.
මොකක් ද වරදවා වටහා ගත්තේ? සුඛයි කියලා වරදවා වටහා ගත්තේ. Misapprehended කියන එකයි මේ කියන්නේ. දැන් එහෙම නම් අපිට පේනවා තුන් පොළක්. මොකක් ද? අතන සංස්කාර කියන තැන දුකයි, ඊළඟට “යදා පඤ්ඤාය පස්සති” කීවා ම, විඤ්ඤාණය දැනගත්තා දුකයි කියන එක. එතකොට පරාමාසයත් දුකයි කියන එක අපි එතනට මනස යොමු වෙනවා.
එතකොට එහෙම නම් අපිට පේනවා ඔය සංස්කාර කියන එකෙන් තමයි අපිට සඤ්ඤාව කියන එක හදන්නේ. “සංඛතං අභිසඞ්ඛරොති.” ආපහු සඤ්ඤාවෙන් තමයි සංස්කාරය කියන එක සකස් කරන්නේ.
එතකොට එහෙම නම් අපිට පේනවා දෙපැත්තට ම අනුලෝම. ප්‍රතිලෝම වශයෙන් දුකයි සඤ්ඤාව. සඤ්ඤාවෙන් හදන සංස්කාරත් දුකයි. සංස්කාරයෙන් හදන සඤ්ඤාවත් දුකයි. ඉතින් අපි බලලා තියෙනවා නේ දුක්ඛය. අනුලෝම, ප්‍රතිලෝම වශයෙන්. එතකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ. ආපහු ව්‍යාධියට යනවා කියලා. එතකොට ඒ දුක්ඛය සම්පූර්ණයෙන් ම තමන්ට එන්න ඕනෑ. දැන් අන්න එහෙම ඒ ටික බැලුවායින් පස්සේ ඊළඟ ගාථාවට:
“සබ්‌බෙ ධම්මා අනත්තාතී, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”
දැන් මෙතන “සබ්‌බෙ ධම්මා” කීවා ම සඤ්ඤාව එහෙම ඒවා අනත්තා, එතකොට සංස්කාරත් අනත්තා. සඤ්ඤාවෙන් හදන සංස්කාරත් අනත්තා. දැන් දුක කියන එක මගේ කියලා ගන්නේ නෑ නේ මගේ කියලා. අපි ටිකකට ඉස්සෙල්ලා සඤ්ඤාවත් දුකයි, සංස්කාරයත් දුකයි කියලා අනුලෝම. ප්‍රතිලෝම වශයෙන් බලලා. එහෙම නම් ඒ දෙක අනත්තා. ඒ දෙක අනත්තා වෙනකොට ඉතින් ඕවයින් නේ ද අපි විඤ්ඤාණය හදන්නේ? සංස්කාරයෙන් තමයි විඤ්ඤාණය. සඤ්ඤාවෙන් චේතනාවෙන් තමයි විඤ්ඤාණය. නාමරූප පච්චයා විඤ්ඤාණං. සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං. එතකොට එහෙම නම් ඒ විඤ්ඤාණයත් අනත්තා.
ඒක හරියට නිකන් අපි කාගෙන් හරි ලී කෑල්ලක් ඉල්ලා ගන්නවා, ගඩොල් කෑල්ලක් ඉල්ලා ගන්නවා, එක එක්කෙනාගෙන් එක එක දේවල් ඉල්ලාගෙන අපි ගෙයක් හදනවා. ඉතින් දැන් මම හදාගෙන ඉන්නේ මගේ කීවාට අනුන්ගෙන් ගත්ත කෑලි ටික නේ. හරියට අම්මාගෙ තාත්තගෙ ශුක්‍රාණු හොරකම් කරගෙන හදාගත්ත ගේ වාගේ.
එතකොට එහෙම නම් දැන් අනත්තා කියන එක වැටෙනවා සංස්කාර කියන කොටුවට. ඒ වගේ ම සඤ්ඤාවට. ඒ වගේ ම විඤ්ඤාණය කියන එකට. එතකොට තුන් පොළට.
ඉතින් ඕගොල්ලො දන්නවා ඔය කිනිස්ස, කිරිච්චිය කියන එක. Dagger එක කියන්නේ. අර අනින්න එකක් තියෙන්නේ. ඒකේ තියෙනවා නේ මෙහෙම cross එක වාගේ. එතකොට අපිට පේනවා මේ සංස්කාර කොටස අනත්තා, සඤ්ඤාවත් අනත්තා, අර අල්ලගන්න තියෙන ඒ කෑල්ල විඤ්ඤාණය. එතනත් අනත්තා. එතකොට අන්න එතනදි මෙතන “යදා පඤ්ඤාය පස්සති” කීවා ම අන්න ඒ විඤ්ඤාණය අපි කතා කරන්නේ.
ඊළඟට “අථ නිබ්බින්දති දුක්ඛෙ” කීවා ම ජාතිය කියන තැනට ඇඟිල්ල දික් වෙන්න ඕනෑ.
එතකොට එහෙම නම් දැන් ඔය dagger එකේ කෙළවර නේ ද? අනින තැන. ඉතින් ටිකකට ඉස්සෙල්ලා කීව නේ පරාමාසයත් දුකයි කියලා.
එහෙම නම් මුළු blade එක ම, අනින්න තියෙන blade එක ම දුකයි. ඉතින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ පරාමාසයට. අර handle එකයි ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඉතින් එහෙම නම් අපිට පේනවා මේ බාහිර වූ, අනිත්‍ය වූ, අනත්ත සංස්කාර මගින් සාදන්නා වූ සියලු ජාතීන් දුක වශයෙන් දැන උපධීන් අතහරිනවා. අන්න ඒ විදිහට තමයි තථාගතයන් වහන්සේ පෙන්නුවේ
“උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. යො වෙ අවිද්‍යා උපධින් කරොති, පුනප්පුනං දුක්ඛ මුපෙති මන්දො. තස්මා පජානං උපධින් න කයිරා,
දුක්ඛස්ස ජාතිප්පභවානු පස්‌සීති.” (ද්වයතානුපස්සනා සුත්තං, සුත්තනිපාතෙ මහාවග්ගො)
කියලා. ඔක්කොම දුක්ඛයන් ඇති වෙන්නේ උපධි කියලා. ඕගොල්ලො දන්නවා දස උපධින් කියලා බලලා තියෙනවා. එහෙම නම් ඒක හොඳට බලන්න ඕනෑ.
ඉතින් මේ දක්වා පැමිණිලා අපි පටන් ගත්තේ අමෝහ කුසල් මූලයෙන් නේ. නැවතත් අපි අමෝහ කුසල් මූලයට මනස යොමු කරනවා. අන්න එතනදි අපි සංස්කාර ඉවතලීම කියන එක. දැන් ටිකක් ප්‍රඥාව බොහොම අධිකයි. එහෙම නම් දස කුසලය ම සිහි කරනවා. පාණාතිපාත, අදත්තාදාන විතරක් නොවේ. අර සම්මා දිට්ඨිය දක්වා ම මිච්ඡා දිට්ඨිය පහ කරනවා කියලා. එතකොට මේ දස කුසලය ම සමාදන් වෙනකොට අපිට අරි අට වෙනවා නේ ද? කියලා තමන්ට සිහි වෙනවා. අපි දන්නවා නේ 4 වෙනි දවසේ වැඩසටහනේ අපි කරන්නේ. අර දස කුසලයෙන් අරි අට මඟ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා කියන එක.
එහෙම නම් අර පග්ගහ නිමිත්ත දක්වා පැමිණීම කියන එක තියෙනවා. පටිපදාව අනුව යන පාරත් ඒ වගේ ම අමෝහ පාරත් අනුව සිහි කිරීම කියන එක තියෙනවා. ඒ දෙක ම එකයි කියලා තමන්ට තේරෙනවා.
ඉතින් මේකට අර අලෝභ, අදෝෂ, අමෝහ භාවනා කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනෑ දැන් අපිට පේනවා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ ඕගොල්ලො දන්න එකෙන් එනවා හතර වෙනි ධ්‍යානයට. එතනින් අපි එනවා ධම්මානුපස්සනාවට. දැන් බලන්න අමෝහ පාරේ අපි එනවා අර අවිතක්ක අවිචාර සමාධියට. ඒකේ එන්නේ කොහොම ද?
සවිතක්ක සවිචාර සමාධියට ඇවිල්ලා නේ ද? සවිතක්ක සවිචාර සමාධියේ තියෙනවා දිබ්බ විහාරය, ඒක පේනවා “භව නිරොධො දුක්ඛ නිරොධො” කියලා. එතකොට එහෙනම් දුක්ඛය නේ අපි බැලුවේ මේ වෙලාවේදි. එතකොට ඒ නිසා සංස්කාරයන් කියන ඒවා අපි ඉවතලීම කියන එක කරනවා. එතකොට මොන සංස්කාරයන් ද?
අරූප ධ්‍යාන හදන සංස්කාරයන් ඉවතලනවා. ධම්මානුපස්සනාවෙනුත් ඕක නේ පෙන්නන්නේ නේ ද? මේ සංස්කාරයන් ඉවතලීම කියන එක. එතකොට එතනින් අපි එනවා, පග්ගහ නිමිත්ත කියන එකට. සංස්කාරයන් ඉවත ලා පග්ගහ නිමිත්තට. ආර්ය අෂ්ටාංගික මාර්ගය දිගේ චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම නේ. ඉතින් ආනෙඤ්ජ විහාරයට අපි ආවා අරූප ධ්‍යානයන්ගේ සංස්කාරයන් ඉවත ලා. එතනින් සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ හතර වෙනි විහරණය කරා ගමන් කරනවා. මේ විදිහට බැලුවා ම තමන්ගේ සිත නතර වෙනවා කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.