Date: 15/05/2017 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ ය පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ ගාථාව. ඊට පස්සේ මම බැලුවා ඊළඟට තියෙන ගාථාව ගුහට්ඨක සූත්‍ර නිද්දේසයේ. ඒකේ පෙන්නනවා

“ඉච්ඡා නිදානානි භව සාත බද්ධා, තේ දුප්පමුඤ්‌චා න හි අඤ්ඤමොක්ඛා. පච්ඡා පුරෙ වාපි අපෙක්ඛ මානා, ඉමේව කාමෙහි පුරිමෙව ජප්පං.” කියලා.

ඒකෙ පෙන්නන්නේ කාම තෘෂ්ණාව නිදාන කොට ඇති, භව සුඛයේ බැඳුණු යලි අනාගතයේ හෝ අතීතයේ හෝ වස්තු කාමයන් කැමති වන මේ පච්චුප්පන්න කාමයන් හෝ යට දැක් වූ අතීත අනාගත කාමයන් හෝ ප්‍රාර්ථනා කරන ඒ සත්වයෝ දුක සේ මිදිය යුත්තාහ. අනෙකකු විසින් නොම මුදනු හැක්කාහු වෙත්.

එතකොට අපි දන්නවා මේ ඉච්ඡා නිදානානි භව සාත බද්ධා කිව්වහම ඉච්ඡා කියන්නේ තණ්හාව. එතකොට භව සාත බද්ධා කියන එක පෙන්නනවා. සාතයි කියන එක මතකයි නේ ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි කියලා කිව්වෙ. අන්න ඒ වගේ පෙන්නනවා මේ සුඛ වේදනාව එක භව සාතයක් කියලා. සුඛ වේදනාව ද ඉෂ්ට වස්තුව ද භව සාත දෙකයි. ඊළඟට පෙන්නනවා යෞවනයේ ආරෝග්‍ය හා ජීවිත ඉන්ද්‍රිය පවතිනවා කියන එක භව සාත තුනක්. ඊළඟට ලාභය යසස, ප්‍රසංසා, සුඛය භව සාත හතරකි කියලා. ඉතින් ඔය විදිහට මනාපික, මනවඩනා රූපය ශබ්ද ගන්ධ, රස ඔය ආදී වශයෙන් පෙන්නනවා මේවා භව සාත පහයි. ඔහොම එන්න එන්න වැඩි වෙනවා.

එතකොට ඊළඟට පෙන්නනවා මේ, තේ දුප්පමුඤ්‌චා න හි අඤ්ඤමොක්ඛා, භවයේ ආස්වාද වස්තු වූ ඒ ධර්මයෝ දුක සේ හල යුත්තාහ. දුකෙන් තමයි ඒවා අතහරින්න ඕනෙ සුඛයෙන් නෙමෙයි. සුඛයි කියලා ගත්තොත් කාමයන් ඒවා අතහරින්නේ නැහැ නේ. එතකොට සුඛ වේදනාව ද දුක සේ මිදිය යුත්තාහ. ඉෂ්ට වස්තුව දුක සේ හල යුතුයි. යෞවනය, ආරෝග්‍ය, ජීවිතය ලාභය, යසස, ප්‍රසංසාව, සුඛය දුක සේ අත්හළ යුතු ය.

ඊළඟට පෙන්නනවා, න හි අඤ්ඤමොක්ඛා. ඔවුහු තමන් මඟ මඩෙහි ගැලුණා වූ අනෙකකු නැගී සිටුවන්නට නොහැකි වෙත්. කවුරු හරි මඩේ එරිල ඉන්නවා නම් ඒ පුද්ගලයාට බැහැ තව මඩේ ඉන්න කෙනෙක් ගලවගන්න.

පච්ඡා පුරෙ වාපි අපෙක්ඛ මානා. පච්චා කියලා කියන්නේ අනාගතේ ඊළඟට පුරෙ කීවහම අතීතයේ. ආපහු පෙන්නනවා තව ද අතීතය නිසා අනාගතයත් පච්චුප්පන්නයත් පච්චා කියලා කියනවා.

ඊළඟට ආපහු පෙන්නනවා අනාගතය නිසා අතීතයත් පච්චුප්පන්නයත් පුරෙ කියලා. ඒ කියන්නේ ඉතින් අනාගතේ කෙනෙක් කල්පනා කරනවා මෙම සීලයෙන් මම දෙවි කෙනෙක් වෙනවා. සීලයෙන් වෘතයෙන්. එතකොට දැන් පවතින දුක අතීත දුක එමගින් නැති වෙනවා. මම දිව්‍ය ලෝකෙ ගියහම මේ ප්‍රශ්න නැති වෙනවා කියලා හිතන්නේ. අන්න ඒ විදිහට පුරෙ කියන එක එනවා.

එතකොට දැන් ඉතින් මේක කොහොම ද මේ අතීතයේ අපේක්ෂා කෙරෙන්නේ අතීත කාලයේ මෙබඳු රූප ඇත්තෙක් වෙම්වා. ඒ විදිහට ඒ ආරම්මණයන් ඒ තෘෂ්ණාව එලවනවා කියලා.

ඊළඟට පෙන්නනවා අවසානෙට ඉමේව කාමේ පුරිමෙව ජප්පං කියලා. ඉමේව කාමේ කියන්නේ පච්චුප්පන්න පංචකාම ගුණයන් කැමති වන්නා වූ, ඉවසන්නා වූ, පතන්නා වූ, රුචි වන්නා වූ, වෙසෙසින් ගුණ කියන්නා වූ. එතකොට පුරිමෙව ජප්පං කියන්නේ අතීත පංචකාම ගුණයන් ඒ ගුණ වශයෙන් කියනවා. ඒවා ප්‍රකාශ කරනවා. ඒ විදිහට. මම මේ හොඳට කාල බීලා මෙහෙම හිටිය, ආදී වශයෙන්. එතකොට ඒක තමයි ඒ ගාථාව.

අර පළවෙනි ගාථාව කරලා මේ දෙවෙනි ගාථාව මේක මේ විදිහට බැලුවට පස්සෙ. ඒ අනාශ්‍රව චිත්තය එහෙම්ම ම පවතිනවා. හෙල්ලෙන්නේ නැතිව. වෙනස් වෙන්නේ නැතිව. ඒක එහෙම්ම ම පවතිනවා. ආයෙ මෙනෙහි කිරීමක් මොකක්වත් නැතිව තමන්ගේ ඉන්නා ස්වභාවයක් ඒකෙ තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.