ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
හොඳයි මම කරපු භාවනාව කියනවා නම්, ඔය මහා නිද්දේසයේ ගාථාවක් තියෙනවා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා” කියන ගාථාව. එතකොට ඒ සත්තො කියලා කිව්වහම ඒකේ පෙන්නනවා ඔය රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන් අර අපි බැලුවේ හාලිද්දිකානි සූත්‍රය නේ ද, අදිට්ඨාන, අභිනිවේස, අනුසය අන්න ඒවා තියෙනවා ද, ඒකේ ඇලුණා නම්, ඒ ඇලිච්ච නිසා තමයි සත්වයා කියලා කියන්නේ.
එතකොට ඒ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන ඒවායේ ඇලීම කියන එක. ගුහා කියලා කිව්වම මේ කයට අධිවචනයක්. බහුනාභිඡන්නො කියලා කියන්නේ අපි ඒ විවිධාකාරයකින් අපි වැහිලා කියන එක.
එතකොට තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං කියලා කිව්වහම ඒ රාග වශයෙන් රත් වෙලා සිටිනවා. ද්වේෂ වශයෙන් දුෂ්ටව ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. ඒ වාගේ ම නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. මට කාර් එකක් තියෙනවා ආදි වශයෙන් විවිධාකාරයෙන්.
ඊළඟට අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා. ඒ බවට පැමිණියා කියන එකයි, දැන් තිට්ඨං නරො කියන්නේ. මොහනස්මිං කිව්වහම ඔය පංචකාම ගුණයන්.
එතකොට ඔය අනුසය වශයෙන් මේ ස්ථීර වෙන්නේ මොනවා ද? මේ විපල්ලාස. අසුභය සුභයි කියන විපල්ලාසය, දුක්ඛය සුඛයි කියන විපල්ලාසය. ඔය විදිහට විපල්ලාස 12ම තමයි ස්ථීර වෙන්නේ.
ඒ කියන්නේ දිට්ඨි අනුසය මගින් ඒ රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. ඒ වගේ ම පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. අවිද්‍යා අනුසය මගින් සියලු විපල්ලාසයන් ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා.
එතකොට ඔය පටිඝානුසය මගින් ඒ අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියන එක හොඳට කල්පනා කරලා බලන්න ඕනෑ. දැන් බලන්න අසම්පජානකාරීත්වයට එන්නේ පටිඝානුසය රේඛාව අපි බැලුවොත්, අපිට පේනවා ජරාව, වේදනාව, අසම්පජානකාරීත්වය. එතකොට දැන් එතෙන්දි අපේ මේ රූපය ජරා වෙලා තියෙන්නේ. දැන් මගේ සීයාගේ කතාව ගන්න. Taste buds ගිහිල්ලා, එතකොට දැන් සීයා හිතනවා මේ වේදනාව නැවතත් උපද්දවන්න පුළුවන් කියලා අර වාගේ. ජරා වෙලා තියෙන රූපය. එතකොට ඔන්න ජරාවෙන් වේදනාවට ආවා. එයා දන්නේ නෑ මේකෙන් ඇති වෙන්නේ දුකයි කියලා.
සම්පජානකාරීත්වය තුළ තියෙන්නේ, තණ්හාව නැති වුණා ම දුක නැති වෙනවා කියන එක. එතකොට අසම්පජානකාරීත්වයේ ඕකේ අනිත් පැත්ත. දැන් මෙයාට පේන්නේ නෑ. මේකෙන් ඇති වෙන්නේ දුකයි කියලා. අපි ඒක සුඛයි කියලා කියනවා, මොකක් ද? චතුරාර්ය සත්‍ය නොදන්නාකම. තණ්හාව නිසා මේක ඇති වෙනවා කියන එක නොදන්නාකම සුඛයි කියලයි සාමාන්‍ය පුද්ගලයා කියන්නේ.
එතකොට ඒක හොඳට මෙනෙහි කරන්න ඕනෑ. ඒ කියන්නේ යම් වේදනාවක් පෙර මෙන් දැන් නොලැබෙන්නේ ද, මේ වෙන්නා වූ දේ දුක වශයෙන් නොසලකා ද, ඔහුට දුක්ඛය නොවැටහෙන අතර දුක්ඛ සමුදය ද නොවැටහෙයි. මෙසේ අසම්පජානකාරීත්වය සුඛ ලෙස වැටහී, මෝහ පාරේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් එහෙම නම් පටිඝානුසය නිසා දුක්ඛයට ම තමයි, අපි කැමති වෙලා තියෙන්නේ කියලා.
එතකොට රූපය ජරා වෙන්නේ නම්, අපි හිතමු ඔය taste buds ගිහිල්ලා, තමන්ගේ blood sugar වැඩි වෙලා, ඒ වගේ මොකක් හරි එකක්, එහෙම නම් මේ රූපය පවතින්නේ නෑ. ව්‍යාධියයි, මරණයයි කියන එක ඇති වෙනවා. මේ නිසා වන වේදනාවෝ ද නොපවතී. එහෙම නම් අන්න අර පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා කියන එක කරන්න පුළුවන්. පටිඝානුසය පාර දිගේ බලන්න දැන්.
එතකොට දූරේ විවෙකා හි තථාවිධො සො කියන්නේ, අපි විවේකයෙන් දුර වෙනවා කියලා. විවේකය තුන් ආකාරයි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා. කාය විවේකය කියලා කිව්වහම, දැන් භික්ෂූන් වහන්සේ නමක් තනියම හැසිරෙනවා. තනියම පිණ්ඩපාතෙ යනවා. තනියම ඉන්නවා, තනියම භාවනා කරනවා, ඒ විදිහට. අන්න කාය විවේකය.
චිත්ත විවේකය කියලා කියන්නේ ප්‍රථමධ්‍යානයට ගිය පුද්ගලයාට පංචනීවරණයන්ගෙන් විවේකය තියෙනවා. ද්විතීය ධ්‍යානයට ගිය පුද්ගලයාට ඔය විතක්ක විචාරවලින් විවේකය තියෙනවා. තුන් වෙනි ධ්‍යානයට ගිය පුද්ගලයාට ඒ ප්‍රීතියෙන් විවේකය තියෙනවා. හතර වෙනි ධ්‍යානයට ගිය පුද්ගලයාට අර සුඛ දුක්ඛ කියන දෙකෙන් ම විවේකය තියෙනවා.
ඊළඟට ආකාසානඤ්චායතනයට ගිය පුද්ගලයාට රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා, කියන එකෙන් විවේකය තියෙනවා.
එතකොට දැන් ඔය කෑල්ල ටිකක් මම වැඩියෙන් බැලුවා. මේ භාවනාව අපි කලින් කරලා තියෙනවා morning meditations වල. දැන් අපිට පේනවා පටිඝානුසයේ රේඛාව දැන් අපි බලාගෙන ආවා නේ.
එතකොට මේ විදිහට මේ වේදනාවෙන් පවතින්නෑ කියලා දන්නවා නම්, අපිට පේනවා මේ, “රූප සඤ්ඤා සමතික්කමා, පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා, නානත්ත සඤ්ඤා අමනසිකාරා.” නානත්ත සඤ්ඤා අමනසිකාරා කිව්වහම මෙතෙන්දි බලන්න ඕනෑ. විඤ්ඤාණය නිසා වන නාමරූප කොටස සිහි කරන්න ඕනෑ. විඤ්ඤාණය, නාමරූප කියන එකට එනවා. එතකොට සඤ්ඤා, වේදනා, එතනින් තමයි අර නාම, රූප කෑල්ලට එන්නේ.
එතකොට දැන් එතෙන්දි අපි අදහස් කරන්නේ නෑ. ඒ සම්පූර්ණයෙන් ඉවත් වීමක්. ඒ මොකද හේතුව? එහෙම බැලුවොත් විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය අන්න ඒවා ඉක්මවීම කියන එකත් මේකට අයිති වෙන්න ඕනෑ. එතකොට ඒක නිසා ඒ සම්පූර්ණයෙන් ඉක්මවීමක් කියන එක කල්පනා කරන්නේ නෑ. මොකද, වේදනාවන් එහෙම අයින් කරනවා නම්, අපි යනවා නේ ඉහළ ධ්‍යානයන්ට. මෙතෙන්දි බලන්නේ මේ රූපය නිසා වන වේදනා කොටස ඉක්මවීම කියන එක. ඒ කියන්නේ දිට්ඨි අනුසය පාරේ රූපයට සුඛ යැයි කියලා පැවරීම කියන එක නතර වෙන්න ඕනෑ.
එතකොට, ඒකෙන් කියවෙන්නේ නෑ, දිට්ඨි අනුසය සම්පූර්ණයෙන් අයින් වෙනවා කියලා. ඉතින් ඔය විදිහට බලාගෙන යන්න පුළුවන්. ඉතින් උපධි විවේකය කියලා කියන්නේ, ඔය නිර්වාණයට ගිය පුද්ගලයාට දස උපධි ඕගොල්ලො ඉගෙන ගත්තා නේ. ඒ උපධිවලින් සම්පූර්ණයෙන් විවේකය කියන එක තියෙනවා, නිවනට ගිය පුද්ගලයාට.
එතකොට කාමා හි ලොකෙ න හි සුප්පහායා, කියලා කියන්නේ මේ ලෝකයේ කිව්වහම මේ සත්ව ලෝකේ පේනවා නේ ඒ ඇහේ තියෙන ඒ ලෝක. එතකොට ඒකේ දුකෙන් තමයි අපි අයින් වෙන්න ඕනෑ. ඒක සැපයි කියාගෙන අයින් වෙන්න බැහැයි කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.