ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගාථාවක් ගත්තා, මහා නිද්දේසයේ, පිටුව 19 හරියේ තියෙනවා. “අබලා නං බලීයන්ති, මද්දන්තෙ නං පරිස්සයා. තතො නං දුක්ඛමන්වෙති, නාවං භින්නමිවොදකං.” අබල වූ, කෙලෙහු ඒ මිනිසා මැඩගනිති. යලි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වඩනා සෙයින්, ජාති ආදී දුක ඔහු අනුව යේ කියලා.
එතකොට මේ අබලා නං බලීයන්ති කියලා කිව්වහම, මේ ක්ලේශයෝ කියන ඒවා අබලයෝ කියලා කියනවා. දුබලයෝ, අල්ප බලයෝ, අල්ප ශක්තිය තියෙනවා කියලා. එතකොට ඒකෙන් මැඩීම කියන එක කරනවා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා, හිරි, ඕතප්ප ඒ බලයන් තියෙනවා නේ, ඒවා මඩිනවා, දුර්වල කරනවා. ඒවා තමයි අබලා නං කියලා කියන්නේ.
ඊළඟට මද්දන්තෙ නං පරිස්සයා කියලා කියන්නේ, පරිස්සයා කියන්නේ උපද්‍රවයෝ. උපද්‍රවයෝ දෙදෙනෙක් ඉන්නවා. එකක් තමයි ප්‍රකට වෙලා තියෙන පරිස්සය, ප්‍රතිඡන්න පරිස්සය කියලා. ඒ ප්‍රකට පරිස්සය තමයි, ඔය සිංහයෝ වගේ සත්තු, ඒ හොරු ආදී වශයෙන් ගත්තහම. ඊළඟට මේ රෝගයන්, ඔය ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වන්නේ ආදීනව සඤ්ඤා, චක්ඛු රොගො, සොත රොගො, ඒ වගේ. ඒවා උපද්‍රවයන්. ඊළඟට ප්‍රතිඡන්න උපද්‍රවයෝ කියලා කියනවා ඔය කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත. ඒ වගේ ම නීවරණ, ඔය මක්ඛය, පලාසය ඒවා ඔක්කොම.
එතකොට ඒ උපද්‍රවයන්ගෙන් මැඩීම කියන එක කරනවා. පරිහානියට වැටෙනවා. ඒකේ පෙන්නනවා මේ කුසල ධර්මයන්ගේ පරිහානිය පිණිස පවතිනවා කියලා. කවර කුසල ධර්මයන් ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ වගේ දේවල්.
ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇතුළත මළයෝ තියෙනවා කියලා. තුන් දෙනෙක් ඉන්නවා. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය සිත චලනය කරනවා ඇතුළත. ඔය හින්දා බයත් ඇති වෙනවා කියලා. එතකොට ඊළඟට පෙන්නනවා තතො නං දුක්ඛමන්වෙති, තතො කියන්නේ උපද්‍රවයෝ හේතු කොටගෙන මේ පුද්ගලයා කරා දුක එනවා. සමීපයට එනවා, පැමිණෙනවා.
ඊළඟට මේකේ පෙන්නනවා නාවං භින්නමිවොදකං, කියන්නේ යම් සේ බිඳුන නැවට ඒ ඒ සිදුරෙන් දිය පිවිසියේ ද, ඒ පිටිපසින්, යටින්, දෙපසින් ජලය පිවිසියේ ද ඒ විදිහට මේ උපද්‍රවයෝ පුද්ගලයා කරා එනවා කියලා. ජාති දුක ආදි වශයෙන් දුක එනවා කියලා.
ඉතින් මේ ගාථාව හරි පුදුමයි. මේක තේරුම් අරගෙන පළවෙනි පදය බලනකොට ම කෙළින් ම විමුක්තිය කරාත් ගමන් කරනවා. මේකේ කාරණා හිතන්න හිතන්න මේ අබල වෙන්න දෙන්නේ නෑ කියන එක නේ තමන්ට එතකොට එන්නේ, ඉතින් ඒකට, ඒ කියන්නේ අපිට පේනවා ක්ලේශයන් කියන ඒවා අබලයන්. එතකොට තමන්ගේ තියෙන සමාධි බලයන් එහෙම මඩනවා. අර පරිස්සයා කියන්නේ උපද්‍රවයෝ කියන එක, ඒක හොඳට බලන්න ඕනෑ. ලෝභය, ද්වේෂය, මෝහය කියන එක. ඉතින් නැවට බිඳුන ජලය එනවා වගේ මොකක් ද දුක ම නේ පිවිසෙන්නේ.
ඉතින් මනස දියුණු කරගත් පුද්ගලයාට මේ ධර්මය දන්නා වූ පුද්ගලයාට මේක කියවනකොට ම එකපාරට ම සිත පුදුමාකාර වෙනවා. හොඳ ම දේ තමයි ඒ කාම සුත්ත නිද්දේසයේ, ඒ තියෙන විදිහ හොඳට සම්පූර්ණයෙන් බලලා මේ කෙටියෙන් නේ කීවේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.