ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට කළේ, අපි පෙරේදා ජූලි 18 වෙනිදා කාරණා හතරක් සාකච්ඡා කළා. අර 1, 2, 3, 4, කියලා ලකුණු කරගත් පරාමාසයේ ඉඳන් ඒ ජීවිත ඉන්ද්‍රිය දක්වා යන එක, ඒක අර කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව වීම. ඒක වළකා ගත නොහැකි වන අවස්ථාවන් තියෙනවා කියලා අපි බැලුවා.
ඊට පස්සේ ආපහු ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට, දැන් අපි භව ආශ්‍රවය, ඒක අයින් කරගන්න උත්සාහ කරනවා. නමුත් මැඩ පවත්වාගෙන ඉන්නා වූ චිත්තයන් වීම නිසා ඒක නොවෙනවා කියන එකත් බැලුවා.
ඊළඟට තුන් වෙනි කාරණයට අපි ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට, අර දිට්ඨි ආශ්‍රවය ඉවත් කිරීමට උත්සාහ කරනවා. මේකත් සාර්ථක නොවෙනවා කියලා අපි සාකච්ඡා කළා, අර නිත්‍ය කියන deep space වගේ තැන්වලට ගිහිල්ලා ඉඳපු නිසා.
ඊළඟට අපි හතර වෙනි කාරණය පරිදේවයේ ඉඳන් පරාමාසයට, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ඉවත් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ මිච්ඡා ආජීවය නිසා ඇති වෙන මානය සියුම් බව බලපාලා, ඒකත් කරන්න බැරි වෙන බව පෙන්නුවා.
ඉතින් කවුරු හරි මේ කාරණා හතර මගින් ධාරාව ගැලීම නැවතීම සාර්ථක කරගන්නවා නම් අවිහිංසූපවිචාරය ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා ඒ භාවනාවෙදි.
එතකොට ඒ අවිහිංසූපවිචාරයෙන් බ්‍රහ්මචරියෙසනාව සිද්ධ වෙනවා. අද බැලුවේ අන්න ඒ කාරණය. බ්‍රහ්මචරියෙසනාව කියන්නේ මොකක් ද? යම් ආශ්‍රවයක් ප්‍රහීණ කළ අයකු කෙසේ ජීවත් වන්නේ ද? එසේ ජීවත් වීමට උත්සාහ කිරීමයි. ඒක තුන් ආකාරයක් වෙනවා.
යම් අකුසලයක් පහ කරන ලද්දේ ද, නැවත එම අකුසලයෝ නොගනී. යම් කුසලයක් වඩන ලද්දේ ද, එම කුසලයෝ මුළා නොවී පවත්වයි. යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි.
අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එහෙම යන්නේ නැහැයි කියලා, පිහිට හොයන්නේ නැහැයි කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට ඕකෙ පළවෙනි කාරණය අර අවිහිංසූපවිචාරය මගින් විඤ්ඤාණ ධාරාව ගැලීම නවතාලීමට දක්ෂ වන්නේ, සංස්කාර නොපවත්වයි. අනාශ්‍රව චිත්තය තුළ සංස්කාර පැවැත් වීමක් නැත. මෙමගින් භවයේ යෑම දුරලයි. නැවත භවය නොගනී. මෙසේ අකුසලය පහ කර නැවතත් එම අකුසලයෝ නොගනී යන පළවෙනි කාරණයට අපි එළඹෙනවා. එමගින් පරාමාස වීම වළක්වා ගනී. පෙර යම් දෙයක් පරාමාස වූවා ද, වරදවා වටහා ගත්තා ද, එය නිවැරදි වෙනවා. මෙසේ පරාමාසය පිරිසිදු වෙයි.
ඊළඟට දෙවෙනි කාරණයට එනවා, පරාමාසය පිරිසිදු වන්නේ පරාමාස ඉදංසච්චය නොවෙයි. ඒ කියන්නේ දෙවෙනි කාරණයේ දී යම් කුසලයක් වඩන ලද්දේ ද, එම කුසලයෝ මුළා නොවී පවත්වයි කියන එක. අන්න ඒ කාරණය ස්ථාපිත වෙනවා. කිසිවක් සුභ යැයි නොගනී. ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට යම් ආශාවක් වී ද, එය ද සුභ වූ දේ ම නිසා හටගන්නක් බව දැන අතහරියි. මෙමගින් ඉදංසච්චය තුළ බුර බුරා නංවන්නා වූ, මෙය ම සත්‍යයක් යැයි ගන්නා වූ ධර්මයෝ බැස යයි. එහි අඩිතාලම, foundation එක, කඩා වැටෙයි. මෙමගින් තුන් වෙනි කාරණාව කරා එළඹෙනවා.
තුන් වෙනි කාරණාවේදි අර ඉදංසච්චයේ ඉඳන් පරාමාස වීම කියන එක වළකිනවා. එමගින්, අපි දන්නවා තුන් වෙනි කාරණය තියෙනවා යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි. යම් දහමක් නිසා, යම් දහමක පිහිට පතා, පෙර පරාමාස වූවා ද එම සියලු දහම් මුසා වශයෙන් දන්නේ, දක්නේ, පළමුව අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව වීමෙන් වැළකේ. දිට්ඨි සල්ල නොවන්නේ, පෙර යම් සඤ්ඤාවක් අළලා දිට්ඨි සල්ලය මගින් කරකවා සනාථ කළා ද, එසේ සනාථ කිරීම සිදු නොවන්නේ, සඤ්ඤා අගයෝ බැස යයි. සඤ්ඤා අගයෝ බැස යන්නේ, සුඛ යන සඤ්ඤාව ගිලිහෙන්නේ, කාම ආශ්‍රව නොවේ. මෙසේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම වළකී. මෙහි දී විඤ්ඤාණස්ථිතිය බැස යයි.
එතකොට ඔතෙන්දි අපි දන්නවා පරාමාස භය අගතියේ ඉඳන් අහංකාරය අපි ලකුණු කරනවා. එතකොට ඊළඟට වේදනාවේ සඤ්ඤාවේ මතක ද අර, අත්තනි වා රූපං? අහංකාරය තුළ රූප සෙවීම කියන එක එතන තියෙනවා නේ ද? එතකොට සඤ්ඤා අගයෝ බැස යන්නේ අහංකාරය නිසා රූප සෙවීම, ඒ කියන්නේ නටන මනුස්සයා සිංදු සෙවීම, ඒක බැස යනවා. මෙසේ අහංකාරය සඤ්ඤාවක් මෙන් පැවතීම බැස යනවා. එතකොට එහෙනම් අහංකාර කතාවත් මේ වෙලාවෙදි බැස ගිහින් කියන එක තියෙනවා.
ඉතින් මේ භාවනාව කළහම ඉතින් කෙනෙකුට අන්න අන්තිමට එනවා අර සත්තො ගුහායං ගාථාව.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා”
මේ කාමය කියන “කාමා හි ලොකෙ” විශාල අර්ථයකින් කියලා තියෙන්නේ. ඔක්කොම ලෝකයන් ඔතන අයිතියි. “කාමාහි ලෝකෙ නහි සුප්පහායා,” මේක දුකෙන් මිසක් ගැලවෙන්න බෑ. දැන් ආවේ මේක සුඛ නෙවෙයි කියල නේ. පේනවද, මේ අර දුක්ඛ table එකේ අර slide එකට එනකල් ම ඇවිල්ලා තියෙනවා. අර නටන මනුස්සයා සිංදුව හොයන්නේ නෑ, අන්න සඤ්ඤාව. මේ සඤ්ඤාව සුඛ නෑ.
එතකොට එහෙම නම්, කාමාහි ලොකෙ, දැන් ඒ පාර එයා අර රූපයට, ඒක අර කාම ආශ්‍රවයට යන්නේ, ලුණු මිරිස් එහෙම හොයාගෙන නේ යන්නේ, මේක හොඳයි කියාගෙන නේ. ගැඹුරු අර්ථයක් එතන තියෙන්නේ. ඒක එතනට එනවා. මේ ගාථාවේ වටිනාකම කොයි තරම් ද කියලා, ගැඹුර, කොච්චර ද කියලා එක පැත්තකින් වැටහෙනවා.
ඕකට අමතරව මම තව දැකපු දෙයක් තමයි මේ භාවනාවෙදි, මතක ද අපි අර ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා යනකොට, එතන අර විහිංසා සඤ්ඤාව, ඒකෙන් විහිංසා විචාරය අයින් වෙනවා කියලා, අර d කියලා එහෙම අපි ලකුණු කර ගත්තේ. එතකොට ඒකේ අපි පෙන්නුවා නේ, මේ මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා එහෙම ඉවතලනවා කියලා. අර වෙනස්කමක් කරන්නේ නැහැයි කියලා කිව්වෙ නේ ද. ඒ කියන්නේ සංස්කාරයන් කියන ඒවා, අර බල්ලායි, කූඹියයි කියලා වෙනස්කමක් කරන්නේ නැහැයි කියලා.
දැන් ඉතින් ඕක පොඩ්ඩක් ප්‍රඥාවෙන් බලන්න කෝ. පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන්නා වූ කෑල්ලේ එතන අපි දන්නවා නේ අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම, අභිජ්ඣා. ඊළඟට අපි ඔතන ම ලකුණු කරගත්තා ව්‍යාපාද සඤ්ඤාව. දැන් පේනවද, අභිජ්ඣාවයි ව්‍යාපාදයයි. මම මේ දෙකත් පලාස කරන්නේ නෑ. දෙක ම එකයි.
අන්න ඒ තත්වයට තමන් එනවා. එහෙනම් මම මිච්ඡා දිට්ඨිය නිසා මේක වෙන් කරන එක හොඳයි කියලවත් එතන හිතන්නේ නෑ. එහෙනම් අභිජ්ඣා, ව්‍යාපාදවත් පලාස කරන්නේ නෑ කියන තත්වයට තමන්ගේ මනස එනවා. ඒකත් තමන්ට පේනවා ඕක අතර මැද්දේ දී. Coin එකේ දෙපැත්ත වගේ නේ. කොයි එක ගත්තත් දුකයි.
ඉතින් ඕක තමයි මං කරපු භාවනාව.