ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ.
අද මම භාවනාවට කළේ, ජූලි 20 වෙනිදා භාවනාවක් කළා නේ, නිබ්බාන භාවනාව. ඒකෙදි අපි ඉගෙන ගත්තා වූ අවිහිංසූපවිචාරයෙන් බ්‍රහ්මචරියෙසනාවට එනවා. ඒ බ්‍රහ්මචරියෙසනාවේ කාරණා හතරක් තිබුණා.
යම් අකුසලයක් පහ කරන ලද්දේ ද, නැවත එම අකුසලයෝ නොගනී, කියලා. එතකොට ඒ අවස්ථාවේ දී අපි බැලුවා, ඒ පළවෙනි කාරණාවේ දී ඒ භවයේ යෑම කියන එක අපි දුරලලා නැවතත් භවය ගන්නේ නෑ. එහෙම නම් එයා අකුසලය පහ කරලා, නැවතත් අකුසලයෝ නොගනී, කියන පළවෙනි කාරණයට අපි එළඹෙනවායි, එමගින් පරාමාස වීම වළක්වා ගන්නවායි, පරාමාසය පිරිසිදු වෙනවායි කියන එක අපි බැලුවා.
ඊළඟට දෙවැනි කාරණය තියෙන්නේ යම් කුසලයක් වඩන ලද්දේ ද, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා කියන එක. ඉතින් පරාමාසය පිරිසිදු වෙනවා නම්, පරාමාසයෙන් ඉදංසච්චයට යන්නේ නෑ. එතකොට ඒ කියන්නේ ඉතින් අපි මේ සුභයි කියලා අරගෙන තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ධ්‍යාන තලයක ඉපදිලා වාසය කරන්න කැමති වෙනවා කීවත්, එතන සුභයි කියලා ගත්ත දේ නිසා ම හටගත්ත කියලා අතහරිනවා. එතකොට ඒක අතහැරීම අපිට ඔය පෙන්නනවා, ඒ ඉදංසච්චය තුළ තියෙන දේවල් ඒවා බැහැලා යනවා කියලා.
එහෙම නම් අපි තුන් වෙනි කාරණයට එනවා. ඉදංසච්චයේ ඉඳන් පරාමාස වෙනවා කියන එක බලපු එක. එහෙනම් තුන් වෙනි කාරණයට එනවා. යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි කියන එක.
ඉතින් මෙතන අපි පෙන්නුවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවය වෙන එක මුලින් නැති වෙනවා. ඊට පස්සේ අර දිට්ඨි සල්ලයෙන් කරකවලා ඒ කාම ආශ්‍රව කරා ගමන් කරන එක නැති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව කියන එක වළකිනවා කියලා. එතකොට ඔතෙන්දි අහංකාරය කියන එක, සඤ්ඤාව කියන එක බැහැලා යනවා කියන එක අපි ඊයේ භාවනාවෙදි ඉගෙන ගත්තා.
අද භාවනාවෙදි බැලුවේ මේ ප්‍රඥා ස්කන්ධය කියන එක. එතකොට බ්‍රහ්මචරියෙසනාව පරිපූර්ණ වුණා නම් ප්‍රඥා ස්කන්ධය කියන එක පරිපූර්ණ වෙනවා. ප්‍රඥා ස්කන්ධයේ පෙන්නනවා, මේ නසන ලද ආශ්‍රවයක් නිසා වෙන ප්‍රඥාව පළවෙනි කාරණය. දෙක ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛයේ ඥානය. තුන උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය. හතර වෙනි එක බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය.
එතකොට දැන් ඔය බ්‍රහ්මචරියෙසනාවේ දෙවෙනි කාරණය තියෙනවා නේ, යම් දහමක් සුභ වශයෙන් නොගන්නේ එමගින් කාම ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නොවන්නේ ය. එසේ නසන ලද ආශ්‍රව නිසා, සිතේ හටගන්නා වූ සුඛ ස්වභාවය පවතින්නේ, නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව ඇති වෙනවා. මේක හරියට බලන්න ඕනෙ අර උපෙක්ඛා නිමිත්තේ.
පාණාතිපාතය කර කර හිටපු මනුස්සයා, පාණාතිපාතය කරනකොට දුකයි. ඒක එයා දන්නේ නෑ ඒ බව. එයා සිල් ගන්න ගිහිල්ලා හරි පාණාතිපාතය අතහැරලා එදා ඉන්නවා. අන්න එදා එයාට පේනවා, අනේ, මේ ජීවිතය හරි හොඳයි නේ, පාණාතිපාතය කරන්නේ එහෙම නැතිව ඉන්න එක. එතකොට අර පාණාතිපාතය අත හැරීමෙන් වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දකිනවා. අන්න ඒ විදිහට ම බලන්න මේක. යම් ආශ්‍රවයක් පෙර තිබුණා ද, එයින් දුක් වින්දා ද, එය නැසීම නිසා වන සුඛය නිසා පෙර තිබුණා වූ ඒ ආශ්‍රවයන් දුක වශයෙන් දැනගන්නවා. ඉතින් ඕක විවිධාකාර උදාහරණවලින් පෙන්වන්න පුළුවන්.
දැන් අපි හිතමු මේ මනුස්සයෙක් ජීවත් වෙන්න ක්‍රමයක් භාවිතා කරනවා. අපි හිතමු boxing ගහනවා කියලා. එතකොට දැන් ඕගොල්ලෝ ඒක බලාගෙන ඉන්නවා. ඒක බලාගෙන ඉන්නකොට දැන් ඕගොල්ලන්ට හිතෙනවා දැන් දුප්පත් මනුස්සයා boxing ගහන්නේ සල්ලි ගන්න, මොකද හොඳ ජීවිතයක් ගෙවා ගන්න කියලා. එයා හොඳ එක් කෙනෙක් කියලා කියන්න කෝ. අර දෙන්නයි boxing ගහන්නේ ඔයා කැමතියි අර අහිංසක මනුස්සයා දිනනවා නම්, නේ ද. පේනවා ද?
එතකොට අන්න ඒ විදිහට ඕක සියුම්ව කල්පනා කරන්න පුළුවන්. දෙන්නම දුකයි නේ. ගැහුවත් දුකයි, ගුටි කෑවත් දුකයි, දිනුවත් දුකයි, පැරදුනත් දුකයි. කොහොමත් දුකයි. නමුත් මෙතන ඒ විදිහට හිතන්නේ නැතිව මෙයා කල්පනා කරනවා, මම මේ පෙන්වන්නේ, අර තමන්ගේ ඇතුළෙන් තියෙන්නෙ සියුම් වූ ධර්මයන්. අර දෙන්නාගේ බලන්න අර මනුස්සයා පරාද වුණත් මොකද, දිනුවත් මොකද, දෙක ම දුකයි. එතකොට ඕගොල්ලො හිතනවා අර දුප්පත් මනුස්සයා, අහිංසක මනුස්සයා, එයා දිනනවා නම් හොඳයි කියලා. Cricket match එකක වුණත් එහෙමයි, ඉතින් ඒ වගේ තමයි. අන්න ඒ අර්ථයෙන් කල්පනා කරන්න. උපෙක්ඛා නිමිත්තේ තියෙන අර්ථය තමයි ඔතන තියෙන්නේ.
ඊළඟට ආපහු පෙන්නනවා බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි කාරණය පෝෂිත වීම නිසා, ඒක මගින් ඉදංසච්චය පරාමාස නොවන්නේ, අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවීමත්, ඉන් අනතුරුව අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රවය නොවීමත් වෙනවා. මේ විදිහට ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛයේ ඥානය ඇති වෙනවා.
මේක මොකක් ද? මේ වන විට සියලු ආශ්‍රවයන් දුක බවත්, ආශ්‍රවයන්ගේ සමුදය සහ අත්ථඞ්ගමය. ඒ කියන්නේ මොකක් ද? අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව, කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රව. එහෙනම් සමුදය, අත්ථඞ්ගමය කියන එක තමන් හොඳට දන්නවා. මේක නැත්නම් මේක නෑ. දන්නේ, දක්නේ, පළමුව දිට්ඨි ආශ්‍රව පහ කිරීමට වෑයම් කරනවා. මේ දුක්ඛ table එකේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස column එක ඉවත් කිරීම ලෙස වටහා ගන්න ඕනෙ. දැන් අන්න අර මම කිව්වේ match එකේ කතාව, අර දෙන්නාගේ fight එකේ කතාව, දැන් ඔන්න තමන්ට හොඳට පේනවා. දැන් අර අහිංසක කතාවට එනකම් අපි ඇවිල්ලා තියෙන්නේ.
එතකොට, ඒ බ්‍රහ්මචරියෙසනාව වෙනකොට මමංකාරයත් අහංකාරයත් බැස ගොස් ඇතියි කියලා අපි ඉගෙන ගත්ත නේ, නේ ද. එතකොට ඉතින් අහංකාරය සඤ්ඤාවක් වශයෙන් පවතිනවා. ඒක ඉවතලනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ ඉතිරිව ඇති දුක්ඛ table එකේ පළවෙනි column එකට අවධානය යොමු වුණා. Columns තුනකින් අපි පෙන්නුවා නේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාට පළවෙනියට තියෙන එක. එතකොට ඒකට අවධානය යොමු කරලා මේක ඉවත් කරන්න වෑයම් කරනවා.
රූප නිසා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා යෑමට තුඩු දෙන, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හිස් වූවක් ලෙස වටහා ගන්නේ, දැන් අපි දන්නවා මේ රූපය නිසා තමයි අපි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා යන්නේ. ඉතින් මුලින් රූපය අල්ලාගෙන හිටියා, ඊට පස්සේ කීවා මේක හරි නෑ කිව්වා. ඒ පාර වේදනාවන් අල්ලාගෙන හිටියා. ඔහොම ක්‍රමානුකූලව නෙ. රූපයෙන් තොරව මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කතාවක්වත් එන්නේ නෑ. එතකොට ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයත් මේ රූප කතාවත්. ඒ කියන්නේ දුක්ඛ table එකේ මුල කෑල්ලයි, අග කෑල්ලයි. අර නන්දි කියන කෑල්ල දක්වා එතැන පල්ලෙහා ඇවිල්ලා තියෙනවා පළවෙනි column එකේ.
එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හිස් වූවක් ලෙස වටහා ගන්නවා නම් භවගාමී අකුසලය කියන එක දුරලනවා, අස්මිතිය පහ වෙනවා. අන්න ඒ අවස්ථාවේ දී අපි ඉගෙනගෙන තියෙනවා නේ “රූපවන්තං වා අත්තානං” කියලා. එතකොට අපි diamond එකක් සාකච්ඡා කළා නේ. දැන් මේ වෙලාවේ මේ සාකච්ඡා කරගෙන ආවේ මේ diamond දෙකක් ගැන නේ පොඩි. ඒ කියන්නේ පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච, පරිදේව. පරිදේවයෙන් ආපසු පරාමාසය. මතක ද ඔය diamond එකයි, ඊළඟට වේදනා, නාමරූප, පරාමාස, සෝක, වේදනා. ඔය diamond දෙකයි. ඔය දෙක glue කරලා තමයි අපි ඔය “රූපවන්තං වා අත්තානං,” චේතනාවෙන් glue කරලා ඕක හදා ගත්තේ.
එතකොට දැන් මේකේ සියලු දිට්ඨීන් කියන ඒවා ඉවත් කරනවා. දැන් අර මමංකාර අහංකාර එක ගියා. දැන් “රූපවන්තං වා අත්තානං” කියන එකත්, ඒක යනවා. එයා glue කරන්න යන්නේ නැහැ.
හිතන්න අර මම match එකේ කතාව කිව්වේ. කවුරු දිනුවත් එකයි. දෙන්නම දුකයි. නමුත් අපේ ඇතුළෙන් හිතනවා මේක හොඳයි කියන එක, නේ ද?
එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පැත්තේ ඉඳන් ඇවිල්ලා මේක බොල්, ආපහු රූපයට ගියත් රූපයත් බොල්. එතකොට එහෙම නම් රූපයේ ඉඳන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඒ ඔක්කොම ගියා. එහෙම නම් “රූපවන්තං වා අත්තානං” කියන කතාව යනවා. එතකොට එහෙම වුණහම මොකද වෙන්නේ? අර රූපයයි, ජාතියයි අතර අපි ලකුණු කරනවා නේ “රූපං අත්තතො සමනුපස්සති,” ඒකත් යනවා, ඒ අත්තා කතාව ගියාට පස්සේ. මේක නිසා මම ඉන්න කතාවක් නෑ. සියලු දිට්ඨීන් ඉවත් කරනවා. මේ විදිහට බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානයට පැමිණෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.