Date: 12/08/2017 Name: නිබ්බාන

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,

අද භාවනාවට ගත්තේ ගාථාවක්. මහා නිද්දේසයේ, 70 පිටුව, ගුහට්ඨක සූත්‍ර නිද්දේසයේ තියෙනවා ගාථාවක්. “මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිං අකුබ්බමානො.”

මේකෙ පෙන්වන්නේ “සිඳී ගිය දහර ඇති දිය කඩිත්තක පොපියන, සැලෙන මසුන් වාගේ, මාළු වාගේ, මගේ යැයි ගන්නා ලද වස්තුවෙහි පොපියන සත්වයන් බලව්. මේ මමායිත වස්තුවෙහි ආදීනව දැක මමායන රහිතව කාමාදී භවයේ නොඇලෙමින් හැසිරෙන්නේ ය” කියලා.

ඉතින් ඕක මහා නිද්දේසයේ පැහැදිලි කරනවා, මමායිතෙ පස්සථ ඵන්දමානෙ කියන එක. ඊට ඉස්සෙල්ලා ගාථාවේ පෙන්නනවා පරිඵන්දමානං කියන එක. ඒකෙ පෙන්නනවා තෘෂ්ණා ස්පන්දනයෙන් පොපියනවා, සැලෙනවා, දිට්ඨි ස්පන්දනයෙන් සැලෙනවා, ඔය විදිහට පෙන්නනවා, මේ රාගයෙන් රත් වූයේ සැලෙනවා. ද්වේෂයෙන් දුෂ්ට වූයේ සැලෙනවා. මෝහයෙන් මූඪ වූයේ සැලෙනවා. මානයෙන් අරමුණේ බැඳී හිටියත් සැලෙනවා. දිට්ඨි වශයෙන් පරාමාස වූයේ සැලෙනවා. කියලා අර සත්තො ගුහායං ගාථාවේ පෙන්නා වූ අර්ථයට ඇවිල්ලා තියෙනවා.

එතකොට ඵන්දමානෙ කියලා කියන්නේ අන්න ඒකයි. නිකම් හිතන්න පුළුවන් ඕගොල්ලන්ට අර pendulum එක සැලෙන්නේ. අන්න wavering කියන එක තමයි මේකෙ පෙන්වන්නේ.

ඉතින් මේකේ පෙන්නනවා මමායිතෙ පස්සථ ඵන්දමානෙ කියන්නේ මමත්තා. තෘෂ්ණා මම, දිට්ඨි මම කියලා මමංකාරය දෙයාකාරයි. අර තෘෂ්ණා මම මොකක් ද, මේක මගේ, තෙල මාගේ ය, මෙතෙක් මාගේ ය, මෙපමණ මාගේ ය, අර කියන්නේ මේ ඉඩමේ මෙතෙන්ට එනකම් මාගේ ය කියලා. අන්න ඒවාගේ. එතකොට ඒ මමායනය කරනවා. මාගේ රූපයෝ ය ශබ්දයෝ ය. මහ පොළොව තෘෂ්ණා වශයෙන් මමායනය කරනවා. ඊළඟට පෙන්නනවා දිට්ඨි මම කියන එක. දිට්ඨි මමත්වය. රූපං අත්තතො සමනුපස්සති. රූප වන්‌තං වා අත්තානං. අර විසිවස්තුක සක්කාය දිට්ඨි. ඕක දීර්ඝ ලෙස විස්තරයේ තියෙනවා.

මමායිතෙ පස්සථ ඵන්දමානෙ. මගේ යැයි ගත්ත වස්තුව, අසිඳ ගනිතියි සැක ඇතිව සැලෙනවා. අසිඳ ගනිතියි කියන්නෙ සොරු ගන්නවා. සොරු ගත්ත කල්හි සැලෙනවා. අසිඳ ගත් කල්හියි සැලෙනවා. ගන්න කොටත් සැලෙනවා, ගනී කියලත් සැලෙනවා. ඊට පස්සේ ඒ වස්තුව පෙරළෙයි කියලා සැක ඇතිව සැලෙනවා, පෙරළෙන කල්හිත් සැලෙනවා. පෙරලුණායි කියලත් සැලෙනවා. බියෙන් වෙවුලනවා කියලා මේකේ පෙන්නනවා. එතකොට ඒක තමයි මමායිතෙ පස්සථ ඵන්දමානෙ කියලා.

ඊළඟට පෙන්නනවා මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. මද වූ කැලඹුණු සිඳුණු දියෙහි කවුඩන්, උකුස්සන් හෝ කොකුන්, ඒ අන්‍ය පක්ෂීන් විසින් වෙහෙසුණු ලබන කල්හි අර මාළු, ඒ කියන්නේ වතුර පොඩ්ඩක් නම් තියෙන්නේ මාළුන්ව කන්න පුළුවන් නේ අනිත් අයට. උන් දඟලනකොට අරුන් කනවා. ඒ පෙරළෙනවා. ඔය විදිහට වෙවුලනවා කියලා. මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ.

එතකොට ඊළඟට පෙන්නනවා එතම්පි දිස්වා අමමො චරෙය්‍ය. මමත්වයෙහි තෙල ආදීනවය දැක, බලා, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට, ඒකෙ පෙන්වන්නේ මේ ඇස තෘෂ්ණා, දිට්ඨි විසින් ආලය නොකරනුයේ, කන, නහය, දිව, ඒවා මම ය මගේ කියලා ගන්නේ නැතිව. රූප, අරූප භවයන්, ආලය නොකරනුයේ, නොගන්නේ, පරාමාස නොකරමින් නොබස්මින්, හැසිරෙන්නේ අන්න ඒක තමයි එතම්පි දිස්වා අමමො චරෙය්‍ය කියලා කියන්නේ.

භවෙසු ආසත්තිං අකුබ්බමානො. අකුබ්බමානො කියන්නේ නොකරනවා කියන එකයි. එතකොට භවෙසු කියන්නේ කාම, රූප, අරූප ආදී භවයන්. ආසත්ති කියලා කියන්නේ තෘෂ්ණාව. එතකොට ඔය රාගය, සාරංගය ආදී වශයෙන්, සංරාගය, ඡන්දය, ප්‍රේමය, රාගය කැමැත්ත නොකරනුයේ, නූපදවනුයේ, වෙසෙසින් නූපදවනුයේ, භවෙසු ආසත්තිං අකුබ්බමානො. එතකොට දැන් මේ ගාථාවේ, ඕක තමයි විස්තරය හැටියට තියෙන්නේ. දීර්ඝ විස්තරයක් තියෙනවා.

ඉතින් මමායිතෙ පස්සථ ඵන්දමානෙ කියන්නේ මමංකාරය, තෘෂ්ණා මම, දිට්ඨි මම කියලා සාකච්ඡා කළා දෙයාකාරය වෙනවා කියලා. යම්කිසි පුද්ගලයෙක් විසිවස්තුක සක්කාය දිට්ඨීන් ග්‍රහණයට පත් වූයේ ද, ඔහු සියලු අනුසය ධර්මයෝ නොදනී. තව ද තණ්හාව නිසා තෙත බරිත වූයේ, එම අනුසය ධර්මයන්ගෙන් ගැලවීමක් ද නැත. එවැනි සත්වයකු සැලේ. කෙසේ සැලේ ද? රාග වශයෙන් රත් වූයේ සැලෙයි. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සැලෙයි. මෝහ වශයෙන් මූඪ වූයේ සැලෙයි. දිට්ඨි වශයෙන් පරාමාස වූයේ සැලෙයි. මාන වශයෙන් නානාලම්බන වූයේ සැලෙයි. අනුසය වශයෙන් ස්ථිර වූයේ සැලෙයි.

ඉතින් මේක ලකුණු කරගන්න පුළුවන්, ඔයගොල්ලන්ට අර මතක ද ලෝභ, දෝෂ, මෝහවලට හැදූ diagram එක? රාගජ පරිදාහ, ද්වේෂජ පරිදාහ. ඒකෙ තරාදියක් එහෙම තියෙනවා නේ. ඒකේ හරියට ම, මනොසඤ්‌චෙතනාවේ සිට පරාමාසය හරහා භය අගතිය දක්වා රේඛාවක් ඇඳ ගත්තහම, ඒක තමයි අපි රූප වන්‌තං වා අත්තානං කියලා ලකුණු කරගන්නේ. එතකොට ඒක තමයි මමායිතෙ කියන එක

එතකොට වම් පැත්තේ තියෙනවා නේ diamond එකක්, අපි පසුගිය දවස්වල මුදිතා භාවනාවට එහෙම ගත්තේ වේදනා, නාමරූප, පරාමාස, සෝකය, වේදනා. එතකොට දකුණු පැත්තේ තියෙනවා නේ diamond එකක් පරාමාසය, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය, පරිදේවය ආපහු පරාමාසයට එන එක. Diamond දෙකයි. වම් පැත්තේ diamond එක තණ්හා මම වශයෙන් සලකන්න ඕනෑ. දකුණු පැත්තේ diamond එක දිට්ඨි මම වශයෙන් සලකනවා.

මේ diamond දෙකේ යම්කිසි සැලීමක් වේ ද, එමගින් මුළු අනුසයෝ ධර්මයන් ම සැලෙනවා. උදාහරණ වශයෙන් රාග වශයෙන් රත් වූයේ, තරාදියේ වම් පැත්ත පාත් වෙනවා. දකුණු පැත්ත උඩ යනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි ස්ථීර වූයේ, මෝහ වශයෙන් මූඪ වූයේ ද තරාදියේ දකුණු පැත්ත පාත් වෙනවා. වම් පැත්ත උඩ යනවා. මේ විදිහට සැලෙනවා. ඔය ඵන්දමානෙ කීවා ම සැලෙනවා. Pendulum එක වාගේ ඒ සැලීම් තියෙනවා.

දැන් වතුර අඩු වූ විට මාළුවා දෙපැත්තකින් නසිනවා. දඟලනවා. එවිට කොකුන් වැනි සතුන් ඉතා පහසුවෙන් උන් නසනවා. ඇයි දඟලන විට ගන්න පුළුවන් නේ. ඇතුළේ හැංගිලා ඉන්නවා නම් බැහැ නේ. දෙවෙනුව දඟලනුයේ මේ වටා හොඳ තැන් පෙර තිබුණා යැයි සිතනවා. මේ නිසා තුවාල ඇති කරගන්නවා. හිරු රශ්මියෙනුත් පීඩාවට පත්වෙනවා. එනමුදු එවැනි ලොවක් නැත. තාවකාලිකව ලැබුණත් එය පැවතීමක් නැත. මමත් ඒ ආදීනවය දැක, තුලනය කොට, තීරණය කොට කිසිදු දෙයක ආලය නොකරනුයේ රූප, අරූප භවයේ රාගය නොඉපදුණේ නිර්වාණය සාක්ෂාත් කරනවා.

ඉතින් ඒක තමයි භාවනාව. මේ භාවනාව කළහම මේකේ සති ඉන්ද්‍රිය බොහොම ගැඹුරට දියුණු වෙනවා කියන එකකුත් පේනවා. ප්‍රභාස්වර වෙනවා. ඒ වගේ ම මේ භාවනාව බොහෝ කාලයක් පවතිනවා. ඒ සමාධි බොහෝ කාලයක් පවතිනවා. ඒ ප්‍රඥාවෙන් ම ජීවත් වෙනවා කියන එක පේනවා. පුදුමාකාර භාවනාවක් ඒ විදිහට ගත්තහම.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_vammika_with_roots.jpg