Date: 18/11/2017 Name: නිබ්බාන

පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට රහතන් වහන්සේ කිව්වා, සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩය, පිටුව 272, 274 සූත්‍ර දේශනාවක් තියෙනවා, අනන්තේවාසික සූත්‍රය කියලා. ඒකෙ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, “මහණෙනි, අතවැස්සන් නැති, ඇදුරන්නැති, හෙවත් ඇතුළත කෙලෙස් නැති කෙලෙසුන් විසින් ශික්ෂණ නැති මහණ, මේ බඹසර වෙසෙයි. මහණෙනි, අතවැසි කෙලෙසුන් සහිත, ඇදුරු කෙලෙසුන් සහිත, මහණ නොපහසුව දුක සේ වෙසෙයි. මහණෙනි, අනන්තේවාසික, අනාචරියක මහණ සුව සේ පහසු ලෙස වෙසෙයි.”

අනන්තේවාසිකයි කියලා කියන්නේ, අතවැස්සන් නැති, no pupils කියන එක, එතකොට අනාචරියක කියලා කියන්නේ ඇදුරන්නැති, ආචාර්යවරුන් නැති කියන එක. මහණෙනි සාන්තේවාසික සාචාර්‍ය්‍යක මහණ කෙසේ නම් දුක සේ නොපහසු ලෙස වෙසේ ද යත්, මහණෙනි මේ සස්නේ මහණ හට, ඇසින් රූපයක් දැකීමෙන්, සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු උපදී ද, ඔහු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල් දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත් යන මේ කරුණෙන් “සාන්තේවාසික ය” යි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ කෙරෙති. ලාමක අකුසල් දහම්හු ඔහු ශික්ෂණ කෙරෙතියි මේ කරුණින් හේ සාචාර්‍ය්‍යක යි කියනු ලැබේ. ඒ කියන්නේ ආචාර්යවරයෙක් ඇතුව ඉන්නවා කියන එක.

ඊට පස්සේ මහණෙනි නැවතත් අනෙකක් කියමි කියලා, මේ විදිහට කනෙන් ශබ්ද අහලා, ඔය විදිහට නාසයෙන් ඔය විදිහට මනස දක්වා ම, ඒ විදිහට ම ඔය වාක්‍යය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඊට පස්සේ එහෙම කියලා අනිත් පැත්ත පෙන්නනවා.

මහණෙනි, අනන්තේවාසික, අනාචරියක මහණ, කෙසේ නම් සුව සේ පහසු ලෙස වෙසේ ද යත්, මහණෙනි මෙහි ඇසින් රූ දැක ඔහුට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු නූපදී ද, ඒ කෙලෙස්හු ඔහු අතවැසි නොවෙත්. අනන්තේවාසික යැයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ නොකෙරෙතියි ලාමක අකුසල් දහම්හු ඔහු ශික්ෂණ නොකෙරෙත්නුයි, මෙසේ අනාචරියක යැයි කියනු ලැබේ.

ඉතින් ඔය විදිහට ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මහණෙනි මෙසේ අනන්තේවාසික අනාචරියක මහණ සුව සේ පහසු ලෙස වෙසේ. මහණෙනි අනන්තේවාසික අනාචරියකව මේ බඹසර වෙසෙත්.

මහණෙනි, සාන්තේවාසික සාචාර්‍ය්‍යක මහණ, දුක සේ නොපහසු ලෙස වෙසේ. මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ, සුව සේ පහසු ලෙස වෙසේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා.

එතකොට ඉතින් මේකෙ මේ භාවනාවේ තියෙන්නේ අපි පහු ගිය දවස්වල කරපු භාවනාවල අපි ඉගෙන ගත්තා, අර පටිඝානුසය, වේදනා අසම්පජාන රේඛාව. ඉතින් ඔතන ජරාවත් එක්ක නේ එතන තියෙන්නේ. ඉතින් එතන ඉඳන් ජාතිය දක්වා අපි දන්නවා ඒ area එක අර සරසඞ්කප්ප තියෙන area එක. ඉතින් ඔය සරසඞ්කප්ප තියෙන area එකේ අපි දන්නවා ඒ පුද්ගලයන්ට කෑමක් නිසා හරි, පුද්ගලයෙක් නිසා හරි, කාමයන් නිසා හරි සිතිවිලි එයාගේ ගලාගෙන එනවා. යම්කිසි එකකට ඇවිල්ලා එයා ඒකත් එක්ක ජීවත් වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ අතවැස්සා. ඒ කියන්නේ pupils ලා කියන එක ඇතුව ඉන්නවා කියන එක නේ ඔතන තියෙන්නේ.

එතකොට දැන් මේකෙ පෙන්නනවා නේ, ඊට පස්සේ, මේ රේඛාව කැරකෙව්වා ම මොකද වෙන්නේ? කැරකෙව්වා ම තමයි අන්න අර ආචාර්යවරයාගේ කතාව එන්නේ. කැරකෙව්ව ගමන් එයා ඒකේ ඒ ශික්ෂණයට එයා යටත් වෙනවා.

ඒ කියන්නේ, දැන් අපි පෙන්නුවා නේ ඔතන අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මානය මගින් ඒකෙ පැහැදෙනවා. සරසඞ්කප්පයත් එක්ක ඕක නේ වෙන්නේ. පටිඝානුසය මගින් අසම්පජානය සුඛ යැයි කියලා කියනවා, ඔන්න ඔය කාරණා තුන.

ඉතින් මේක කැරකෙව්වායින් පස්සේ අපි දන්නවා විඤ්ඤාණයේ අනුසය කැරකීම මගින් ඇති වුණා, අන්න රාග අනුසය. අන්න එතකොට ආචාර්යවරයා කියන එක්කෙනා හැදෙනවා. එයා දැන් ඉතින් ධම්මමච්ඡරිය පාර අල්ලා ගන්න, වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට. අන්න තමන්ව එතෙන්දි එයාගෙන් train වෙනවා ඊට පස්සේ. එයා තමයි training එක දෙන්නේ. තමන් ම හදා ගත් එක තමයි.

මේක හරි පුදුම භාවනාවක්. ඔච්චරයි භාවනාවට තියෙන්නේ. සිත නතර වෙලා, එහෙම ම ඉන්න පුළුවන්. මිනිත්තු පහළොවක් තමන්ට ඕන කාලයක් ඒ විදිහට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙම වෙලා, ඊට පස්සේ තමන්ගේ ඉහළ ම ඵල චිත්තය එනවා, seriousness එක කියන එක එනවා. එතකොට මෙහෙම ඉන්න එක හොඳයි කියන එක එනවා නේ. එතෙන්දි රහතන් වහන්සේ නැවැත්තුවා.

ඔන්න ඕක තමයි ඒ භාවනාව. පුදුමාකාර භාවනාවක්.